රැකියාව කරමින් සිටියදී උපාධිය ලබාගත් ඌන සේවා උපාධිධාරීන් තනතුරුවල පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ දක්වා වැඩපිළිවෙළක් සකස් කර නොමැතිකමින් එම උපාධිධාරීන් පාසල්වල වැසිකිළි සේදීම, වතු සුද්ද කිරීම වැනි රාජකාරිවල යෙදී සිටින බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න පැවසීය.
දැනට ශ්‍රී ලංකාව පුරා එවැනි උපාධිධාරීන් 450කට වැඩි පිරිසක් සිටින බව පැවැසූ ප්‍රධාන ලේකම්වරයා සනීපාරක්ෂක කම්කරු, පුස්තකාල සහයක, මුරකරු, රසායනාගාර සහායක, ලේඛන සහකාර වැනි තනතුරුවල රාජකාරි කරන බව සඳහන් කළේ ය.
මෙම පිරිස උපාධියට සරිලන තනතුරක පිහිටුවන්නැයි ඉල්ලීමට අධ්‍යාපන ඇමතිවරයා සමඝ අවස්ථා හතරකදී මෙන් ම පළාත් ආණ්ඩුකාරවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සමඟ අවස්ථා ගණනාවකදී සාකච්ඡා කර ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේ ය.
විදුහල්පති පරිපාලන සහකාර නමින් නව තනතුරක් ඇතිකර මෙම ඌන සේවා උපාධිධාරීන්ට ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කරන බවට ත්, ඊට කඩිනමින් ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබාගන්නා බවටත් අධ්‍යාපන ඇමතිවරයා වෘත්තීය සමිතිවලට දැනුම් දී වසරකට වැඩි කාලයක් ගතව තිබෙන බව පැවසූ තිලකරත්න මහතා මේ දක්වා එම කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමුකර නැතැයි කීය.
අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අධ්‍යාපන ඇමැතිවරයා සමග පසුගිය මස 14 වැනිදා හා 16 වන දා පැවැති සාකච්ඡාවලදී ද මේ පිළිබඳව අවධානයට ලක් කළ නමුත් ඊට අවශ්‍ය පියවර ගෙන නැතැයි ද ප්‍රධාන ලේකම්වරයා පැවසීය.
කාලය, ශ්‍රමය හා මුදල් වැයකර ලබාගත් උපාධියට නිසි වටිනාකමක් ලබා දී ඌන සේවා උපාධිධාරීන්ට සුදුසු රැකියාවක් ලබා දීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අධ්‍යාපන ඇමතිවරයාට ඊයේ (මාර්තු 11) නැවත වරක් ලිපියක් යොමුකර ඉල්ලා සිටි බවද හෙතෙම සඳහන් කළේ ය.
කළමනාකරණ සහකාර තනතුර ‘දරන්නාට පමණක්’ ලෙසට සඳහන් කර තිබෙන බැවින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර එම තනතුර නැවත ප්‍රතිෂ්ඨාපනය කර පාසල් ඌන සේවා උපාධීධාරීන්ට ලබාදීම උචිත බව ද ඔහු කීය.