ජාතික ජන බලවේගය සංවිධානය කරන විශ්රාමික ත්රිවිධ හමුදා සාමූහිකයේ ක්රියාකාරීන් ලෙස හමුදා නිලධාරිනියන්ද මේ වනවිට පෙරමුණට පැමිණෙමින් සිටින අතර ඊයේ (06) ගම්පහ නයිල ජයසිංහ උත්සව ශාලාවේ පැවති දිස්ත්රික් සමුළුව යුද හමුදාවේ විශ්රාමික බලලත් නිලධාරී පුෂ්පමාලී රාමනායක එක්වෙමින් අදහස් දැක්වීය.
එහිදී ඇය සමස්ත කාන්තා පරපුරෙන්ම ඉල්ලා සිටියේ “අවදි වෙන්න, සිතන්න, එකතුවෙන්න” යනුවෙනි. මේ ආශ්රිත පල කළ සම්පූර්ණ අදහස් පහත දැක්වේ.
“මම මීට ප්රථම ජනතාව අමතා තිබෙනවා. නමුත් අද මට සුවිශේෂී අවස්ථාවක්. මෙතරම් විශාල ප්රේක්ෂකාගාරයක් අමතා නැහැ. මම ඉදිරිපත් වුණේ විශ්රාමික යුද හමුදා කාන්තාවන් වෙනුවෙන් අදහසක් ප්රකාශ කිරිමටයි. අද අපි මුහුණ දී තිබෙන අර්බුදයේදී වැඩිපුරම බැට කන්නේ කාන්තාවයි. කුස්සියේ සියලුම කටයුතුවල නිරතවෙලා ඉන්නේ කාන්තාවයි. දරුවන්, දෙමව්පියන් වෙනුවෙන් කුස්සියේ සටනෙදී විශාල අපහසුතාවයකට පත්වෙන්නේ කාන්තාවයි. අපි හමුදා සෙබළුන්, සෙබළියන් හැටියට විශාල යුද්ධයකට මුහුණ දුන්නා. අපි සියලුම දෙනා එකතුවෙලා ඒ සටන තේජාන්විතව ජය ගත්තා. නමුත් කුස්සියේ සටන තනිවම මුහුණ දෙන්න සිදුවී තිබෙන්නේ කාන්තාවට. එතනදී කාන්තා අපි අසරණ තත්වයට පත්වෙනවා. අපි මේ තත්වයෙන් මිදෙන්න වුවමනාව තිබෙනවා.