බිරිඳ අනාචාරයේ යෙදීම නිසා අගතියට පත්වූ සැමියකුට වන්දි ගෙවීම තහවුරු කරමින් බිරිඳගේ අනියම් සැමියාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් තහවුරු කිරීමේ පුවතක් පසුගියදා වාර්තා විය.
මෙහි විශේෂත්වය වන්නේ අදාළ සැමියා සිය විවාහය විසුරුවා හැරීමකින් හෝ දික්කසාදය ලබා ගැනීමකින් තොරව සිද්ධියට සම්බන්ධ තුන්වැනි පාර්ශ්වයෙන් තමාට සිදු වූ අගතියට වන්දි ලබා ගැනීමට සමත්වීමයි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දුගේ නිරීක්ෂණයට එකඟවෙමින් ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අචල වෙන්ගප්පුලි තීන්දු කර තිබුණේ පැමිණිලිකාර බිරිඳ සහ විත්තිකාර සැමියා අතර විවාහය සිද්ධියට සම්බන්ධ තුන්වැනි පාර්ශ්වය සමග බිරිඳ අනාචාරයේ යෙදීම හේතුවෙන් බිඳ වැටී ඇති නිසා පැමිණිලිකරුට තමාට වූ අගතිය සඳහා වන්දි ඉල්ලා ක්‍රියා කිරීමට බාධාවක් නොමැති බවයි.
හැටන් දිසා අධිකරණය සහ මහනුවර සිවිල් අභියාචනා මහාධිකරණය විසින් ලබාදුන් තීන්දුවේ නීත්‍යනුකූලභාවය අභියෝගයට ලක් කරමින් නඩුවේ සම විත්තිකරු වන අනියම් සැමියා ගොනු කළ අභියාචනයකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව සැමියාට පක්ෂව තීන්දුව ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙස සම විත්තිකරුට නියෝග කළේය.
මෙම නඩුවේදී, ස්වාමිපුරුෂයා තමා හැර යෑමේ පදනම මත බිරිඳ දික්කසාදය ඉල්ලා සිටියාය.
විවාහය දෙදරා ගොස් ඇත්තේ බිරිඳ හැර යෑම නිසා නොව බිරිඳගේ සහ විත්තිකරුගේ සල්ලාල හැසිරීම නිසා බව සැමියාගේ ස්ථාවරය විය.
එම ස්ථාවරය මත සම විත්තිකරු නඩුවේ පාර්ශවයක් ලෙස නම් කිරීමට සැමියා කටයුතු කළ අතර සම විත්තිකරුගෙන් වන්දියක් ද ඉල්ලා සිටියේය.
කෙසේවෙතත්, ස්වාමිපුරුෂයා දික්කසාදය සඳහා බිරිඳගේ ඉල්ලීම ඉවත් කරන ලෙස ඉල්ලා සිටි අතර ඔහු චෝදනා කර ඇති පරිදි බිරිඳ සහ සම විත්තිකරු අතර ඇති අනාචාරයේ පදනම මත දික්කසාදය ඉල්ලා සිටීමට ද කටයුතු කර නැත.