සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ තොරතුරු රැසක් විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම් මේ වන විට සොයාගෙන හමාරය. ඔවුන් පවසන ආකාරයට ක්ලබ් වසන්ත මරාදැමීම මෙහෙයවා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ලොකු පැටී නමැත්තාය. ලොකු පැටී අහුන්ගල්ල ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන අපරාධ රැසක් මෙහෙයවූ අයෙකි. ඔහු මේ වන විට රැඳී සිටින්නෙ ඩුබායි රාජ්‍යයේය. ඒ අනුව විමර්ශන නිලධාරීන් පෙන්වා දෙනුයේ ක්ලබ් වසන්ත ඝාතනය ඔහු සැලසුම් කර ඇත්තේ ඩුබායි සිට බවය.
ලොකු පැටීගේ එකම වෛරක්කාරයා වන්නේ කොස්ගොඩ සුජීය. කලක් අහුන්ගල්ල, කොස්ගොඩ, බළපිටිය ආදී ප්‍රදේශවල සිය ආධිපත්‍ය තහවුරු කරගෙන සිටියේ කොස්ගොඩ සුජීය. එහෙත් පසු කාලයේදී සුජිගේ බලය පරදවා අහුන්ගල්ල, බළපිටිය ආදී ප්‍රදේශවල බලය අල්ලා ගැනීමට ලොකු පැටී සහ පොඩි පැටී ඇතුළු කණ්ඩායම දැඩි උත්සාහයක යෙදුණාහ. එහි ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශ්වයේම සමීපතමයන්, ඥාතීන් සහ මිතුරෝ කිහිප දෙනෙක්ම වළපල්ලට ගියහ.
ක්ලබ් වසන්ත ඝාතනය මෙහෙයවීම, සැලසුම් කිරීම සම්බන්ධයෙන් ලොකු පැටීගේ නම කියැවෙන්නේ ඔය අතරවාරයේය. ඔහුගේ නමට අමතරව ක්ලබ් වසන්ත ඝාතනයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් රොටුඹ අමිල, ලැටියා, උණාකුරුවේ ශාන්ත යන අයගේ නම්ද කියැවිණි. මේ අය සිටින්නේද විදේශගතවය. ඔවුන් ලොකු පැටී කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ය.
දැනට කරන ලද විමර්ශනවලට අනුව ක්ලබ් වසන්ත මරා දැමීමට අවශ්‍යතාව දැඩි ලෙස තිබී ඇත්තේ මුස්ලිම් පාතාලයේ ප්‍රබල අපරාධකරුවකු වන කංජිපානි ඉම්රාන්ටය. ඔහු මේ වන විට දේශපාලන රැකවරණ මත ප්‍රංශයේ ජීවත් වන බව කියයි. ඒ අනුව විමර්ශන නිලධාරීන් පවසන්නේ කංජිපානිගේ ඉල්ලීම ඉටු කිරීම සඳහා අහුන්ගල්ලේ ලොකු පැටී සැලසුම් සහගත ලෙසින් ක්ලබ් වසන්ත ඉලක්ක කොට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවය. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී උසස් පොලිස් නිලධාරියෙක් පැවැසුවේ ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ චිත්‍රපටයේ තිරපිටපත ලොකු පැටීගේ වුවද චිත්‍රපටයේ අධ්‍යක්‍ෂණය සහ නිෂ්පාදනය කංජිපානි ඉම්රාන්ගේ බවය.
පාතාලයේ ‘ගෝඩ් ෆාදර්’ ලෙස සැලකෙනුයේ මාකඳුරේ මධුෂ්ය. මෙරට සිදුවූ බොහෝ අපරාධ රැසකට සම්බන්ධකම් පවත්වන්නේ ඔහුය. අපරාධ සම්බන්ධයෙන් පොලිසිය ඔහු පසුපස පන්නද්දී ඔහු ඩුබායි රාජ්‍යය වෙත පලා ගියේය. ඉන් අනතුරුව ඔහු සිය ගෝලබාලයන් යොදා ගනිමින් දකුණේ මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසක් සිදු කළේය. ඊට අමතරව ටොන් ගණනින් ‘කුඩු’ද මෙරටට එවීය.
කංජිපානි, මාකඳුරේ මධුෂ් සමීපතම ඇසුරු කළ අයෙකි. ඒ හිතවත්කම මත කංජිපානි වෙනුවෙන් කුලී තුවක්කුකරුවන් යොදා කොළඹ සහ ඒ අවට මිනිස් ඝාතනද මධුෂ් විසින් සිදු කරන ලදී. ක්ලබ් වසන්තද මේ දෙදෙනාම හොඳින් දැන සිටියේය. ක්ලබ් වසන්තගේ ව්‍යාපාර කිහිපයක් ඩුබායි රාජ්‍යයේද තිබීම නිසා ක්ලබ් වසන්තට මධුෂ්ගේ සහාය අවශ්‍ය විය. ව්‍යාපාර පවත්වාගෙන යෑම සඳහා දෙදෙනා අතර මුදල් ගනුදෙනුද සිදුවිය. මේ සියල්ල කංජිපානි ඉම්රාන්ද දැන සිටියේය.
මධුෂ් සහ ක්ලබ් වසන්ත අතර තිබූ ව්‍යාපාරික ගනුදෙනු සහ හිතවත්කම් මත රුපියල් කෝටි 70ක පමණ මුදලක් මධුෂ් විසින් ක්ලබ් වසන්තට වරින්වර ලබාදී ඇති බව කියැවේ. කංජිපානිද මේ බව දැන සිටි අතර කංජිපානි හා වසන්ත අතර ආරවුල දිග්ගැස්සෙන්නේ මාකඳුරේ මධුෂ් ඩුබායි පොලිසියට කොටු වීමත් සමඟය.
මාකඳුරේ මධුෂ් සිය දරුවාගේ උපන් දිනය සැමරීම සඳහා ඩුබායිහි ‘තරු’ හෝටලයක සාදයක් සූදානම් කර තිබුණේය. ඒ 2019 වසරේදීය. ඒ වන විට මධුෂ් මෙන්ම කංජිපානිද රතු වරෙන්තුකරුවන්ය. මෙම සාදය සඳහා කංජිපානි ඇතුළු මධුෂ්ගේ හිතවතුන් සහ මෙරට ගායන හා රංගන ශිල්පීහු රැසක්ම එක්ව සිටියහ. ක්ලබ් වසන්තද මෙම සාදයට ඇරැයුම් ලබා තිබුණේය. ඒ මධුෂ් සමඟ තිබූ ව්‍යාපාරික ගනුදෙනු සහ හිතවත්කම නිසාය.
කෙසේ වෙතත් සාදයට තමා සහභාගි වන බව වසන්ත මධුෂ්ට පවසා තිබුණද ගුවන් ටිකට්පත් ගැනීමේ ඇතිවූ ප්‍රමාදයක් නිසා වසන්ත ඊට එක්වූයේ නැත.
කෙසේ වෙතත් උපන් දින සාදය අතරතුර ඩුබායි පොලිසිය සාදය පැවැති හෝටලයට කඩාපැන මධුෂ්, කංජිපානි ඇතුළු 30කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ අතර ගායන ශිල්පීන් හා රංගන ශිල්පීහුද වූහ. දෙරට අතර පැවැති රාජ්‍යතාන්ත්‍රික සබඳතා මත අත්අඩංගුවට පත් බොහොමයක් පිරිස් මෙරටට පිටුවහල් කරනු ලැබූ අතර මාකඳුරේ මධුෂ් පමණක් එරට පොලිසිය විසින් මෙරටට භාරදෙනු ලැබීය.
කංජිපානි ඉම්රාන්ද කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර, මාකඳුරේ මධුෂ් මාස කිහිපයක් තිස්සේ ප්‍රශ්න කිරීම් මැද පොලිස් අත්අඩංගුවේ සිටියදී වෙඩි පහරකින් ජීවිතක්‍ෂයට පත්විය.
මධුෂ් මියයෑම කංජිපානි ඉම්රාන්ගේ දැඩි කම්පනයට හේතු විය. මධුෂ් සහ කංජිපානි ඩුබායි පොලිසියට කොටු කරදීම සඳහා ඔත්තු ලබාදුන් බවට චෝදනා එල්ල වූයේ අන්නාසි මොරිල් නමැත්තකුටය. පසුකාලීනව කංජිපානි දැනගෙන තිබුණේ ඒ පසුපස ක්ලබ් වසන්තද සිටින බවය. ක්ලබ් වසන්ත එලෙස මාකඳුරේ මධුෂ් කොටුකර ගැනීමට ඔත්තු ලබාදීමට සහාය වී තිබුණේ ඔහු සන්තකයේ තිබූ මධුෂ්ගේ රුපියල් කෝටි ගණනක මුදල ‘ගල් කිරීම’ සඳහා බවද කංජිපානිට තේරුම් ගියේය.
මධුෂ්ගේ මරණයෙන් පසු කංජිපානි එම මුදලින් කොටසක් ලබාදෙන ලෙස ක්ලබ් වසන්තට නිතර නිතර පැවැසුවද ඔහු කුමන හෝ බොරුවක් පවසා කංජිපානිගේ ඉල්ලීම මඟහැරියේය. මෙය කංජිපානිට ඉවසුම් නොදෙන්නක් විය. මාස කිහිපයක් තිස්සේ මධුෂ්ගේ මුදල් ලබාගැනීමට කංජිපානි දැරූ කිසිදු උත්සාහයක් සාර්ථක නොවීම නිසා ක්ලබ් වසන්ත ඝාතනය කළ යුතු බවට කංජිපානි තීරණය කරන්නට ඇත.
මාස කිහිපයක් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි කංජිපානි ඇප ලැබීමෙන් පසු කිසිවකුට නොදන්වා ඉන්දියාවට පලායෑමෙන් පසු අතුරුදන් විය. ඔහු වසර කිහිපයක්ම ඉන්දියාවේ සිටිමින් දුරකථන මාර්ග ඔස්සේ ක්ලබ් වසන්තට කතා කරමින් මුදල් ඉල්ලීය. එහෙත් ඊට වසන්තගෙන් යහපත් ප්‍රතිචාරයක් නොවීය. මධුෂ් මිය ගියාට පසු ඔහුට අයත් මුදල් කංජිපානිට දෙන්නේ කුමකටද යන්න වසන්ත සිතුවා විය හැකිය. මේ හේතුව නිසා කංජිපානි ක්ලබ් වසන්තට ඇමතුම් දෙමින් ඔහු කෙසේ හෝ ඝාතනය කරන බව දැනුම් දුන්නේය. අවසානයේ මීට මාසයකට පමණ පෙර කංජිපානි ක්ලබ් වසන්තගෙන් රුපියල් කෝටි දහයක් ඉල්ලා ඇති බව කියැවේ. එයද කංජිපානිට දීමට වසන්ත එකඟ වී නැත. වසන්ත අනිවාර්යෙන්ම මරා දමන බවට කංජිපානි පවසා ඇත්තේ එතැන් පටන්ය.
කංජිපානිත්, ලොකු පැටීත් හිතවතුන්ය. ඒ මධුෂ් ජීවත්ව සිටින කාලයේ තිබූ දැනහැඳුනුම්කම් නිසාය. ඒ අනුව කංජිපානිගේ කොන්ත්‍රාත්තුවට සහාය දීමට ලොකු පැටී එකඟ විය. ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සැලසුම ඩුබායි සිට සිය ගෝලබාලයන් සමඟ මෙහෙයවීමට ලොකු පැටී භාරගනුයේ හිතවත්කම මත වුවද එය රුපියල් කෝටි ගණනක කොන්ත්‍රාත්තුවක් බව කියැවේ.
ලොකු පැටී අහුන්ගල්ලේ පදිංචිකරුවෙකි. ඔහුගේ ගෝලබාලයෝ අවට පදිංචිව සිටිති. ක්ලබ් වසන්ත ඝාතන සැලසුමට දුලාන් සංජුලව යොදා ගන්නේ ඒ නිසාය. සංජුල බළපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු කලක් ධීවර රස්සාවේද මෑත කාලයේ ‘ටැටූ‘ ව්‍යාපාරයේද යෙදී සිටි අයෙකි. ලොකු පැටීට සංජුලව සම්බන්ධ කර දෙනු ලබන්නේ මහේෂ් විසිනි. ඔහු හිටපු යුද හමුදා සෙබළකු වන අතර අහුන්ගල්ලේම පදිංචිකරුවකු විය.
‘ටැටූ‘ ව්‍යාපාරයක් ආරම්භ කරන ලෙස සංජුලට ආශාවක් ඇති කරවන්නේ මහේෂ්ය. ඒ සංජුල ඊට පෙර එම රැකියාවේ නිරතව සිටි නිසාය. මහේෂ්ගේ කීමට සංජුල එකඟ විය. ඒ තමාටම කියා ව්‍යාපාරයක් ඇරැඹීමට හැකියාව ලැබීම නිසාය. ටැටූවලින් සල්ලි හොයන හැටි සංජුල දැන සිටියේය.
මහේෂ්ගේ හඳුන්වාදීම මත ලොකු පැටී ‘වට්ස් ඇප්’ තාක්‍ෂණය ඔස්සේ සංජුලව අමතා ‘ටැටූ‘ ව්‍යාපාරය ඇරැඹීමට අවශ්‍ය මුදල් ලබාදීමට එකඟ විය. සංජුලගේ කීම මත ලොකු පැටී ඒ සඳහා තෙවරකට රුපියල් ලක්‍ෂ 16ක් සංජුලට එවීය.
කෙසේ වෙතත් ලොකු පැටීගේ අරමුණ සංජුල දැන නොසිටියේද නැද්ද යන වගක් තවම හෙළිවී නැත. ඔහු පොලිසියට පවසා ඇත්තේ තම ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා ලොකු පැටී රුපියල් ලක්‍ෂ 16ක් එවූ බව පමණි.
කෙසේ හෝ මහේෂ්ගේ මාර්ගයෙන් තම ඉලක්කයට සංජුල නම්මවා ගැනීමට ලොකු පැටීට හැකි විය. ඉන් අනතුරුව ලොකු පැටීට අවශ්‍ය වූයේ සැලුන් එක ඕපන් කරනදාට ක්ලබ් වසන්ත ගෙන්වා ගැනීමටය. සංජුල සිතා සිටියේ ඒ සඳහා ගායන ශිල්පි සුජීවා ගෙන්වීමටය. ඒ ඔහු ඇයව ඊට පෙර දැන හැඳිනගෙන සිටි නිසාය. එහෙත් ලොකු පැටී සිය ව්‍යාපාරයට මුදල් යෙදවීම නිසා ඔහුට පිටුපාන්නට සංජුලට හැකියාවක් නොවීය.
ලොකු පැටී විසින් එවන ලද දුරකථන අංකයකට ඇමතුම් දෙමින් සංජුල ක්ලබ් වසන්ත සම්බන්ධ කරගත්තේය. ෆේස්බුක් හරහාද ඔහු අමතා මිත්‍රකමක් ගොඩනඟා ගත්තේය. සංජුල ඒ බව ලොකු පැටීට කීවේය. ඒ අනුව තම අරමුණ ඉටුකර ගත හැකි බව ලොකු පැටී සිතුවේය. ‘ටැටූ‘ ෂොප් එක ඇරැඹීම සඳහා ක්ලබ් වසන්තට හා ඔහුගේ බිරිය මැණික්ට ආරාධනා ලැබෙන්නේ ඉන් පසුවය. වරක් නොව දෙවරක්ම වසන්ත කාර්ය බහුලව සිටි බැවින් ටැටූ ඕපන් එක කල් ගියේය. වරෙක ඔහු විදෙස්ගතවී සිටීම නිසා විවෘත කිරීම සිදුනොවීය.
අවසානයේ ඉකුත් 8 වැනිදා ක්ලබ් වසන්ත සංජුලගේ ටැටූ ෂොප් එක විවෘත කිරීමේ මුහුරත් උත්සවයට පැමිණීමට එකඟ විය. ඒ සිය බිරියද සමඟය. ලොකු පැටීගේ කීම මත ඒ සඳහා ඇරැයුම් පතක්ද සැකසිණි. ඊට වසන්තගේ හා බිරියගේ රූපයද එක්කර තිබිණි. එලෙස වසන්ත යුවළගේ රූපය යොදා ආරාධනා පතක් පිළියෙල කරනුයේද වසන්තව උත්සවයට අනිවාර්යයෙන් එක්කර ගැනීමේ අදහසින්ය. ලොකු පැටී ඒ ඔස්සේ සිය සැලසුම ක්‍රියාත්මක කළේය.
ක්ලබ් වසන්ත ටැටූ සැලුන් එකට අනිවාර්යයෙන්ම පැමිණෙන බව සංජුලට දන්වා තිබීම ලොකු පැටීගේ සතුටට හේතුවිය. ඔහු වසන්ත ඝාතනය සඳහා සියල්ල සූදානම් කළේ ඉන් පසුවය. ඒ අතර තුවක්කුකරුවෝද වූහ. තුවක්කුකරුවන් ගෙන ඒම සහ ගෙන යෑම සඳහා වාහන සැපයීම සිදුවූයේ උණාකුරුවේ ශාන්ත විසින්ය. ශාන්ත බෙලිඅත්තේ පදිංචිකරුවෙකි. ඒ නිසා ඔහු ඊට එක්කරගත්තේද බෙලිඅත්තේ පදිංචි දෙතුන් දෙනකුය. ඒ ලක්‍ෂ ගණනින් මුදල් දෙන බව කියමිනි.
මෝටර් රථයකින් පැමිණ ක්ලබ් වසන්තට වෙඩි තබා එම රථයෙන්ම පලායෑමත්, අතරමඟදී තුවක්කුකරුවන් වෑන් රියකට ගොඩ කරවා වෑන් රියද අතරමඟ අතහැර වෙනත් රථයකින් පලායෑමත් සැලසුම විය.
වෑන් රියක්ද ඒ සඳහා සූදානම් කෙරිණි. උණාකුරුවේ ශාන්තගේ ඇමතුමකට අනුව ත්‍රීවීලර් රියැදුරකු වූ ලක්මාල් නමැත්තා පනාගොඩ යුද හමුදා කඳවුර ආසන්නයට ගොස් නතර කර තිබූ වෑන් රිය පදවාගෙන බෙලිඅත්තට ගෙනාවේය. එය බෙලිඅත්ත තුම්මුල්ල, ගල්වඩුගෙදර නිවෙසක රඳවා තිබියදී ඉකුත් 6 වැනිදා ශාන්තගෙන් ලැබුණු ඇමතුමකට අනුව ලක්මාල් එම වෑන් රිය බෙලිඅත්තේදී තවත් දෙදෙනකුට භාරදී ඇත.
ඒ දෙදෙනාද උණාකුරුවේ ශාන්තගේ හිතවත්තු වෙති. බෙලිඅත්තේම පදිංචිකරුවෝය.
ක්ලබ් වසන්තට වෙඩි තැබීම සඳහා තුවක්කුකරුවන් රැගෙන ඒමට සූදානම් කර තිබුණු සුදු පැහැති මෝටර් රථය වෙඩි තැබීමට පෙරදා අතුරුගිරිය ගල්පොත්තට ගෙනවිත් තිබුණේ මහේෂ් විසින්ය. ඒ 8 වැනිදා අලුයම තුනට පමණය. මහේෂ් හිටපු යුද හමුදා සෙබළෙකි. උණාකුරුවේ ශාන්තගේ උපදෙස් මත මිතුරකු සමඟ අම්බලන්ගොඩට ගිය මහේෂ් පසුදා උදෑසන එය ගල්පොත්තට ගෙනැවිත් තිබිණි. ඉන් පසු රථය තවකෙකු අතට පත්විය. තුවක්කුකරුවන් මෝටර් රථයට ගොඩ වන්නේ ඔරුවල ප්‍රදේශයෙනි.
ඒ වන විට ලොකු පැටීගේ ඔත්තුකරුවෝ ක්‍රියාත්මක වී සිටියහ. සංජුලගේ ටැටූ ෂොප් එක විවෘත කිරීමට ක්ලබ් වසන්ත සහ බිරිය පැමිණ සිටියහ. කේ. සුජීවා සහ ඇගේ සහායකයා ඊට පෙර එහි පැමිණියහ. විවෘත කිරීම සඳහා පොල්තෙල් පහනක්ද සූදානම් කර තිබූ අතර ක්ලබ් වසන්ත, බිරිය, සුජීවා ඇතුළු පිරිස පොල්තෙල් පහනද දැල්වූහ. ඉන් අනතුරුව සකසන ලද කිරිබතක රස විඳින්නට සියල්ලෝම එක්වූහ.
ඒ වන විට තුවක්කුකරුවෝ සුදානම්ව සිටියහ. ක්ලබ් වසන්ත කිරිබත් අනුභව කරමින් සෝපාවක වාඩිවී සිටින බව ඔත්තුකරු දුරකථනයෙන් ලොකු පැටීට දැන්වීය. ඒ සමඟ ලැබුණු නියෝග මත ටී-පනස්හය ගිනි අවි දෙකක් අතැති තුවක්කුකරුවන් පඩිපෙළ දිගේ උඩහට පැමිණ ටැටූ ෂොප් එකේ කිරිබත් කමින් සිටි වසන්තව ඉලක්ක කරගෙනම වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. වසන්තට සිතන්නට වත් වේලාවක් නොලැබිණි. ටැටූ ෂොප් එකේ සිටි සෙසු දෙතුන් දෙනා ආරක්‍ෂිත තැන් හොයද්දී තුවක්කුකරුවෝ වෙඩි පිට වෙඩි තබන්නට වූහ. ඒ අතර එක් වෙඩික්කරුවකුගේ ගිනි අවියේ උණ්ඩ ගැබෙහි කිසියම් දෝෂයක් ඇති විය. ඒ සමඟම ඔහු පසෙකට වෙද්දී අනෙක් වෙඩික්කරු ඉදිරියට පැමිණ වෙඩි ප්‍රහාරය එල්ල කළේය. අනතුරුව තුවක්කුකරුවෝ පැමිණි මෝටර් රථයේම නැඟී පලා ගියහ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹුණේ අතුරුගිරිය පොලිසියෙන් වුවද බස්නාහිර දකුණ පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මෙම ඝාතනය පැති කිහිපයකින්ම විමර්ශන කිරීම සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට අමතරව පොලිස් කණ්ඩායම් 10ක්ම යෙදවීය.
ඒ වන විට ක්ලබ් වසන්ත මැරුම් කා සිටි අතර ඔහුගේ බිරිය සිටියේ වෙඩි වැදීමෙන් බරපතළ තත්ත්වයකය. ගායිකා සුජීවාගේ පාදයකට බරපතළ ලෙස හානි සිදුව තිබූ අතර ඇගේ සහායකයා වූ නයන වාසුල වෙඩි වැදීමෙන් ලද බරපතළ තුවාල හේතුවෙන් රෝහලේදී ජීවිතක්‍ෂයට පත්විය. ටැටූ සංජුලගේ බිරියටද තුවාල සිදුවී තිබිණි.
වෙඩි තැබීම සිදුවූ ව්‍යාපාරික ස්ථානයේ මීට පෙරද මෙවැනිම ආකාරයේ වෙඩි තැබීමක් සිදු විය. ඒ 2017 වසරේදීය. මෙහිදී ඝාතනය වූයේ අතුරුගිරියේ බණ්ඩා නමැත්තෙකි. පේෂල් දැමීමක් සඳහා එම ස්ථානයේ පවත්වාගෙන ගිය රූපලාවණ්‍ය මධ්‍යස්ථානයකට පැමිණි බණ්ඩා නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. පසුව කරන ලද පරීක්‍ෂණයේදී එම වෙඩි තැබීම සිදු කිරීමට ඔත්තුව ලබාදී ඇත්තේ එම රූපලාවණ්‍යාගාරය පවත්වාගෙන යන කාන්තාවක් විසින් බව හෙළි විය.
පසුව එම කාන්තාවද සිය නිවසේදී වෙඩි තබා මරා දැමුණු අතර සංජුල නමැත්තා ටැටූ සැලුන් එකක් ලෙස විවෘත කර ඇත්තේද කලින් රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන ගිය ස්ථානයේම බව විමර්ශන නිලධාරීන් අනාවරණය කරගත්තේය.
කෙසේ වෙතත් ක්ලබ් වසන්ත ඝාතනය මුළු රටම කැලඹවීමට සමත් විය. ක්ලබ් වසන්ත කොළඹ ව්‍යාපාරික ලෝකයම දන්නා හඳුනන අයෙක් විය. කැරොකේ සමාජ ශාලා බොහෝමයක හිමිකරුවකු වීම නිසා ඔහු කැරොකේ වසන්ත ලෙසද, සමහරු හැඳින්වූහ. එහෙත් මෑතක සිට ඔහු නොයෙකුත් ප්‍රියසාදවලට එක්වූ වීඩියෝ මුහුණු පොතට එක් කිරීමත් සමඟ සමාජයේ බොහෝ දෙනා ඔහු දැන හඳුනාගත්හ. බොහෝ පිරිස් ඔහු වසන්ත අයියා ලෙසද හඳුන්වනු ලැබුවේ ඔහු සමාජයේ කැපී පෙනුණු චරිතයක් වූ නිසාය.
නුවරඑළියේ මහගස්තොට ඉපිද ගැමිනී විදුහලේ සිප්සතර හැදැරු ඔහු පාසල් ජීවිතයේදීම ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දැක්වූ අයෙක් විය. වයස අවුරුදු 20දී නුවරඑළිය ප්‍රදේශයේ ‘සන්හිල්’ නමින් හෝටලයක් ආරම්භ කළේය. අ.පො.ස. සාමාන්‍ය පෙළ නිමවීමත් සමඟ ජපානයට ගිය වසන්ත එහිදී හරි හම්බකරගත් සේසතම යොදවමින් නුවරඑළිය හෝටලය දියුණු කළේය.
එතැනින් ව්‍යාපාර ක්‍ෂේත්‍රයට පිවිසි වසන්ත ටිකෙන් ටික තම ව්‍යාපාරවලින් මුදල් හරි හම්බ කරගත් අතර මුදල් පොලියට දීමද සිදුකළේය. අතමිට සරුවී සමාජයේ ඇතැම් දේශපාලනඥයන් සමඟ සමීපව ඇසුරු කිරීම නිසා ඔහුගෙන් දඩබ්බර ගතිද පෙන්නුම් කෙරිණි.
වරෙක ඔහු පිස්තෝලයක් සමඟද පොලිසියට කොටුවිය. කොල්ලුපිටිය ප්‍රදේශයේ ද්‍රවිඩ ව්‍යාපාරිකයකුට අයත් හෝටලයක්ද මිලදී ගත් ඔහු එහි සේවකයන්ට නිසි පරිදි වැටුප් නොගෙවීම මත ඔහුට එරෙහිව පැමිණිලිද පොලිසියට ලැබී තිබිණි.
2004 වසරේදී කොල්ලුපිටිය, සෙල්ලමුත්තු ඇවනිව්හි ගොඩනැඟිල්ලක චීන ජාතික කාන්තාවක් ‘හෙල්ත් සෙන්ටර්’ එකක් පවත්වාගෙන ගියාය. ඇය එහි සිටියේ කුලියටය. කෙසේ වෙතත් කුලී කාලය නිමවීමෙන් පසුද ඇය එම ගොඩනැඟිල්ලෙන් ඉවත් වූයේ නැත. අයිතිකරු මේ බව වසන්තට කීවේය. වසන්ත එම ගොඩනැඟිල්ල මුදලට ලබාගෙන චීන ජාතික කාන්තාව ගොඩනැඟිල්ලෙන් පලවා හැරීමට කටයුතු කළේය. ඇය ඒ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියේ එවකට ස්ථානාධිපති පාලිත සිරිවර්ධන දැනුවත් කළේය. වහා ක්ලබ් වසන්ත පොලිසියට කැඳවූ ස්ථානාධිපතිවරයා ඔහුට තදින් අවවාද කරන්නට වූ අතර ඉන් පසු ඔහු කොල්ලුපිටිය පොලිසිය පැත්ත පළාතකට ආවේ නැත.
වරෙක ක්ලබ් වසන්ත මැර කණ්ඩායමක ප්‍රහාරයකටද ලක්විය. තියුණු ආයුධවලින් කැපීම නිසා ඔහුට මැහුම් දෙසිය ගණනක් දැමීමට සිදුවූ අතර එම අවස්ථාවේදී ඔහු ජීවිතය බේරාගත්තේද අනූනවයෙනි.
වරෙක කොල්ලුපිටියේ ස්ථාපිත ඔහුගේ හෝටලයක් පොලිසිය විසින් වටලනු ලැබීය. පසුව ඔහු කොල්ලුපිටිය පොලිසියට එරෙහිව නඩුවක්ද ගොනු කළේය.
කෙසේ වෙතත් පසුකාලීනව අතමිට සරුකර ගෙන ව්‍යාපාර, හෝටල්, ක්ලබ් රැසක් පවත්වාගෙන ගිය වසන්ත හිටිහැටියේ කෝටිපතියෙක් විය.
අතමිට සරුවීමත් සමඟ ඔහු බොහෝ දෙනාට මුදලින් උපකාර කළේය. පක්‍ෂ විපක්‍ෂ ප්‍රබල දේශපාලනඥයන් ඔහු ළඟින්ම ඇසුරු කළ අතර කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ දේශපාලනඥයකු සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන ගියේය.
බොහෝ පිරිස් ඔහුගේ ක්ලබ්වලට පැමිණියහ. කැරොකේ සමාජශාලාවලට පැමිණ මත්පැන් බොමින් තරුණියන් සමඟ සාද පැවැත්වූහ. ටිකෙන් ටික ක්ලබ් වසන්ත කා අතරත් ජනප්‍රිය වීමත් සමඟ බොහෝමයක් දේශපාලනඥයන්ට, කලාකරුවන්ට සහ මිතුරන්ටද ඔහු මුදලින්ද උදවු කළේය. සෙල්ලක්කාර සහ විනෝදකාමී චරිතයක් වූ ක්ලබ් වසන්ත සිය බිරිය වූ මැණික්ට සහ දරුවන්ටද දැඩි ලෙස ආදරය කළේය. ඔවුන් සමඟ ප්‍රියසාදවලට එක්විය. මිතුරන් සමඟ සාද පවත්වමින් සතුටු වන අයුරු රැගත් වීඩියෝ පට සමාජ මාධ්‍ය වෙතට යොමු කළේය.
රත්රන් පැලඳීමට ඔහු දැඩි කැමැත්තක් දැක්වීය. වෙඩි නොවදින රන් සුරයක් ඔහු පැලඳ සිටින බවට කටකතාවක්ද පැතිර ගියේය. මධුෂ්ට අයත් වටිනා ඔරලෝසුවක් ඔහු පලඳින බවද සමහරු කීය. ඉස්තරම් මත්පැන්වලින් ප්‍රියසාද පවත්වමින් දේශපාලනඥයන්, පාතාලයන්, මිතුරන්, කලාකරුවන් රැසක් ඇසුරු කළ ක්ලබ් වසන්තගේ ඝාතනය කාටත් ගෙන දුන්නේ ගැටලුවකි.
වසන්ත ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ඇරැඹුවේ පැති කිහිපයකිනි.
ඔහුට වෙඩි තබා ඇත්තේ ටී පනස් හය ගිනි අවිවලින් බවට විමර්ශන ඇරැඹූ පොලිස් කණ්ඩායම් ඒත්තු ගත්තේ බිම වැටී තිබූ හිස් කොපු පරීක්‍ෂා කිරීමෙනි. එහිදී නිලධාරීන්ට තවත් තොරතුරක් ලැබිණි. ඒ එම උණ්ඩවල KPI නමින් සටහනක් යොදා ඇති බවය.
ඒ අනුව විමර්ශන නිලධාරීන් සැක පහළ කළේ KPI යනු කංජිපානි ඉම්රාන් බවය. වෙඩි තැබීමකදී උණ්ඩවලට මෙවන් අක්‍ෂර සටහන් කර තිබුණේ පළමු වතාවටය.
එමෙන්ම පතරොම් කොපු නිරීක්‍ෂණය කිරීමේදී එම උණ්ඩ මුල කිසියම් ද්‍රව්‍යයක් ආලේප කර ඇති බවත් නිරීක්‍ෂණය විය. වෙඩි නොවදින රන් සුරයක් වසන්ත පලඳින බවත් එහි බලය බිඳීමට වෙඩි උණ්ඩවල රන් ආලේප කර ඇති බවට ප්‍රචාරයක්ද පැතිර ගියද එහි කිසිදු සත්‍යතාවක් නොවීය.
ඊළඟට විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමු වූයේ ටැටූ ස්ථානයේ ස්ථාපිත සී.සී.ටී.වී. කැමරා වෙතය. කැමරා කිහිපයක් නිරීක්‍ෂණය කිරීමේදී තුවක්කුකරුවන් පැමිණෙන ආකාරයත් ඔවුන් ක්ලබ් වසන්ත සිටින ස්ථානයට ඇතුළු වී වෙඩි තබා මෝටර් රථයෙන් පලායන ආකාරය දිස්වූ අතර ඒ ඔස්සේ පැමිණි මොවුන් රථය සහ පැමිණි වෙඩික්කරුවන් හඳුනා ගැනීමටද විමර්ශන ඇරැඹිණි.
කෙසේ වෙතත් තුවක්කුකරුවන් පැමිණි මෝටර් රිය කොරතොට ප්‍රදේශයේදී අතහැර දමා තිබියදී සොයාගත් අතර වෙඩි තැබීමෙන් පසු ඔවුන් වෑන් රියකට ගොඩවන ආකාරය දැක්වෙන සී.සී.ටී.වී. දර්ශන නිලධාරීන් සතුවුවද ඒ ඔස්සේ වෑන් රිය හඳුනා ගැනීමට යුහුසුලු වෙද්දී වෑන් රියද බුලත්සිංහල ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොලිස් කණ්ඩායම සොයාගෙන තිබිණි.
පසුව ඒ ඔස්සේ විමර්ශන සිදුකරමින් මෝටර් රියේ සහ වෑන් රියේ අංක තහඩු ලියාපදිංචි හිමිකරුවන්, චැසි අංක ඔස්සේ විමර්ශන සිදු කරන්නට නිලධාරීන් වෙහෙසිණි. කෙසේ වෙතත් පොලිස් කණ්ඩායම් මුලින්ම ප්‍රශ්න කිරීමට භාජන කරනු ලැබුවේ ටැටූ ආයතනයේ හිමිකරු සංජුලගෙනි. ඔහු පොලිසියට ටැටූ ව්‍යාපාරය ඇරැඹීම සඳහා ලොකු පැටී නමැත්තා මුදල් ලක්‍ෂ 16ක් ලබාදුන් බව පවසා සිටි අතර ඒ ලොකු පැටීගේ කීම අනුව එහි විවෘත කිරීමේ උත්සවයට ක්ලබ් වසන්ත සම්බන්ධ කර ගත් බවද කීවේය.
ක්ලබ් වසන්ත ඝාතනයට ආධාර අනුබලදීමේ චෝදනා මත තවත් හයදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. ඒ අතර තුවක්කුකරුවන් පැමිණි මෝටර් රිය සහ ඔවුන් පලාගිය වෑන් රිය සම්බන්ධ කිරීමට හවුල් වූ අයද වූහ.
ඊළඟට විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුවූයේ ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සඳහා තුවක්කුකරුවන් දෙදෙනකු යොදාගෙන ඇත්තේ මන්දැයි යන්න සෙවීමටය. මෙහිදී විමර්ශන නිලධාරීන් සැක කරනුයේ ක්ලබ් වසන්ත ටැටූ ආයතනය තුළදී ඝාතනය කිරීමට ඝාතනය මෙහෙයවූ අයගේ සැලසුමක් නොවූ බවය. වසන්ත ටැටූ ආයතනයෙන් පිටව යන මොහොතේ තුවක්කුකරුවන් දෙපැත්තේ සිට වසන්තට වෙඩි තැබීම මුලින් සැලසුම් කර තිබුණද එම සැලසුම එකවරම වෙනස් කරමින් ටැටූ ආයතනය තුළ ක්ලබ් වසන්ත ඝාතනය කිරීමට ඝාතනය මෙහෙය වූවන් තීරණය කරන්නට ඇති බව පොලිසියේ සැකය විය.
ක්ලබ් වසන්ත ටැටූ ආයතනය තුළ ඝාතනය කිරීමට අවශ්‍යම නම් ඒ සඳහා එක් ටී. පනස් හයක් හෝ වෙනයම් ස්වයංක්‍රිය අවියක් යොදා ගැනීමට තුවක්කුකරුවන්ට හැකියාව තිබූ බවත් විමර්ශන නිලධාරීහු කීය. එබැවින් විමර්ශන නිලධාරීන් සැක කරනුයේ ක්ලබ් වසන්ත ටැටූ හලෙන් පිටවන මොහොතේ හෝ ඔහු සිය රථයේ නැඟී මාර්ගයේ ගමන් කරද්දී දැවැන්ත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ටී පනස් හය දෙකක් සහිතව තුවක්කුකරුවන් දෙදෙනකු යොදවන්නට ඇති බවයි.
කෙසේ වෙතත් විමර්ශන නිලධාරීන් සැක කරන්නේ එම වෙඩික්කරුවන් දකුණු පළාතට සම්බන්ධ වූවන් බවය.
වෙඩි තැබීමේ ස්ථානයේ තිබී සොයාගත් හිස් උණ්ඩවල සටහන් කේ.පී.අයි. අක්‍ෂර මත එම වෙඩි තැබීම පිටුපස කංජිපානි ඉම්රාන් නමැති සංවිධානාත්මක අපරාධකරු සිටින බවට විමර්ශන නිලධාරීන් සැක පහළ කළද එලෙස අක්ෂර සටහන් කිරීම විමර්ශන නිලධාරීන් නොමඟ යැවීමට සිදු කරන ලද්දක්දැයි සැකය වී තිබේ.
කෙසේ වෙතත් වෙඩික්කරුවන් අවි පරිහරණය කිරීම සම්බන්ධයෙන් මනාව පුහුණුවලත් ආරක්‍ෂක අංශවල සාමාජිකයන් බව පොලිසියේ සැකයයි. ඔවුන් මීට පෙර දකුණු පළාතේ සිදුවූ වෙඩි තැබීම්වලටද සම්බන්ධ වූවන්දැයි සෙවීමටද පරීක්‍ෂණ අරඹා තිබේ.
කෙසේ වෙතත් ක්ලබ් වසන්ත ඝාතනය ඉලක්කයට සිදුවීම සම්බන්ධයෙන් වෙඩි තැබීම මෙහෙයවූ පාර්ශ්වය සතුටුවී ඇති අතර ඔවුන්ගේ එකම උත්සාහය තුවක්කුකරුවන් බේරා ගැනීම වනු ඇතැයි නිලධාරීන්ගේ සැකයයි.
එබැවින් මුහුදු මාර්ග ඔස්සේ සහ ගුවන් මඟින් ඔවුන් මෙරටින් පලායෑම වැළැක්වීමටත් ආරක්‍ෂක අංශ මේ වන විට පියවර ගෙන තිබේ. ඒ සඳහා නාවික හමුදාවේ අවධානයද යොමුකර ඇති අතර ධීවරයන් සේ බෝට්ටු ආධාරයෙන් පලායෑමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන්ද නාවික හමුදාව දැනුවත් කර තිබේ.
මේ අතර ක්ලබ් වසන්තගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ලේ ප්‍රධාන පෙළේ මල්ශාලාවකට ඉම්රාන් යනුවෙන් සඳහන් කළ පුද්ගලයකු ඇමතුමක් ගෙන තර්ජනාත්මක ලෙසින් කළ කතාවක් සම්බන්ධයෙන්ද කාගේත් අවධානය යොමුවී ඇති අතර ඒ නිසා මල්ශාලාවට මෙන්ම ක්ලබ් වසන්තගේ නිවෙසටද ආරක්ෂාව යොදවා ඇතැයි ද වාර්තා විය.
කීර්ති මෙන්ඩිස් / www.mawbima.lk