ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර එළබෙන සිකුරාදා (22දා) ආරම්භ වීමට නියමිත තරග 02කින් ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීම වනිඳු හසරංගට අයි.සී.සී. විසින් තහනම් කර තිබෙනවා.
ඒ ඔහු බංග්ලාදේශයට ඊයේ (18දා) පැවැති තෙවැනි එක්දින තරගයේදී විනිසුරු තීරණයට විරෝධය දැක්වීම හේතුවෙන්.
බංග්ලාදේශ ඉනිමේ 37 වැනි පන්දුවාරයේදී මෙම සිදුවීම සිදුව තිබෙනවා.
එහිදී ඔහු විනිසුරු ලබාදුන් තීරණය අප්‍රසාදයට ලක්කර ඔහුගේ තොප්පිය, විනිසුරුවරයාගෙන් උදුරා ගනිමින් විනිසුරුවරයා සමච්චලයට ලක් තිබෙනවා.
මෙය ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.8 වගන්තිය වන ‘අන්තර්ජාතික තරගයකදී විනිසුරුගේ තීරණයට විරෝධය දැක්වීම’ කඩ කිරීමක් බව අයි.සී.සී.ය පෙන්වා දෙනවා.
පසුගිය මාසයේ දඹුල්ලේදී පැවැති ඇෆ්ගනිස්තානයට එරෙහි තෙවැනි විස්සයි20 තරගයේදීද විනිසුරු තීරණ ප්‍රසිද්ධියේ විවේචනය කිරීම හේතුවෙන්ද වනිඳුට අවගුණ ලකුණු (demerit points) 03ක් හිමිවුණා.
ඒ වනවිටත් ඔහුගේ නමට අවගුණ ලකුණු 02ක් හිමිව තිබූ නිසා සම්පූර්ණ ගණන 05ක් විය.
ඒ හේතුවෙන් ඔහුට බංග්ලාදේශයට එරෙහි විස්සයි20 තරගාවලියේ පළමු තරග දෙක ක්‍රීඩා කිරීමද තහනම් විය.
මේ වනවිට වනිඳුට තවත් අවගුණ ලකුණු 03ක් එක්කිරීමත් සමඟ මාස 24ක කාලයකදී ඔහුගේ සම්පූර්ණ අවගුණ ලකුණු සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් අයි.සී.සී.යට එම වරද කළ ක්‍රීඩකයා පළමුව මුහුණ දෙන ටෙස්ට් තරග 02ක, නැතිනම් එක්දින හෝ විස්සයි20 තරග 04ක් තහනම් කළ හැකිය.
ඒ අනුව යම් හෙයකින් වනිඳු ටෙස්ට් තරගාවලියට නම් නොකර තිබුණානම්, එළබෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරග 04ම තහනම් කිරීමට අයි.සී.සී.යේ නීති ප්‍රතිපාදන තිබුණි.
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකර පළමු තරග දෙක ඇත්තේද බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව අතරය.
තරග තහනමට අමතරව වනිඳුට තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක්ද පනවා තිබෙනවා.
මේ අතර ඊයේ තරගයේදී ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස්ටද විනිසුරු සමච්චලයට ලක්කිරීම හේතුවෙන් තරග ගාස්තුවෙන් සියයට 50ක් හා අවගුණ ලකුණු 03ක් පිරිනමා ඇත.
කෙසේ නමුත් පසුගිය මාස 24ක කාලය තුළ ඔහු කළ පළමුවරද මෙය වීමෙන් තරග තහනමකට ලක් නොවේ.
හසරංග සහ මෙන්ඩිස් යන දෙදෙනාම ඔවුන්ගේ වැරදි තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් ඉදිරියේ පිළිගත් හෙයින් මෙම ගැටළුම ICCය විසින් මින් ඉදිරියට රැගෙන නොයනු ඇත.