නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 10ට නොවැඩි විවිධ වාහන කාණ්ඩ සඳහා සියයට 200 සිට සියයට 300 දක්වා ප්‍රමාණයක බදු පැනවීම රජය විසින් ගැසට් නිවේදනයක් මගින් පියවර ගෙන ඇත.
මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මෙම ගැසට් නිවේදනය මගින් ඉන්ධන මගින් ක්‍රියාත්මක මෝටර් රථ මෙන්ම විදුලියෙන් ක්‍රියාත්මක මෝටර් රථ ආනයනයේදී පැනවෙන නිෂ්පාදන බදු වාහන කාණ්ඩය අනුව එනම් සිලින්ඩර ධාරිතාව සහ වාහනයේ ආයු කාලය පදනම් කර ගනිමින් ඉහළ නංවා තිබේ.
ලබන මාසයේ (පෙබරවාරි) මුල සිට ආනයනය කරනු ලබන වාහන සඳහා වන ආනයන බදු ප්‍රතිශතයන් රජය විසින් මෙම විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශය කර ඇති අතර මේ අනුව අලුතින් ආනයනය කරන වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත.
මේ නව වාහන බදු සංශෝධන ඇතුළත් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය පෙරේදා (11දා) සිට බලපැවැත්වේ.
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය මේ බදු සංශෝධන ගැන පැවසුවේ මේ වන විට වාහන මත පැනවෙන සියයට 300ක පමණ ආනයන බදු සියයට 400ත් සියයට 500 ත් ඉක්මවා ඉහළ යා හැකි බවයි.
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසුවේ, එලෙස වාහන මිල ගණන්වල වැඩිවීම කෙරෙහි වැට් ඇතුළු තවත් බදු වර්ග තුනක් ද බලපා ඇති බවයි. ඒ ගැන කරුණු කී ඔහු මෙසේ ද සඳහන් කළේය.
ගැසට් නිවේදනයේ තියෙන්නේ එක්සයිස් බදු ගැන පමණයි. ඊට අමතරව වාහනයේ වටිනාකම මත විශේෂ ආනයන බද්ද සහ සුඛෝපභෝගී බද්ද තියෙනවා. මේ තුනම එකතු කරලා ඒකට සීඅයිඑෆ් අගය (පිරිවැය රක්ෂණ සහ නැව් ගාස්තු) ත් එකතු කරලා ඒකට උඩින් සියයට 18 ක වැට් බද්ද එනවා. මේ බදු වර්ග 04 න් තමයි වාහනයක බදු ප්‍රමාණය තීරණය වෙන්නේ. එත් අපි ජනතාවට කියන්නේ කලබල වෙන්න එපා. වාහන ලංකාවට එනතුරු ඉන්න. එදාට අපි වාහන මිල ගණන් ගැන නිවැරදි ගණනය කිරීම කියන්නම්. ජනාධිපතිතුමා කියපු ලෙස පෙබරවාරි 10 වැනිදා වාහන ආනයනයට ඉඩදීම සිදු කරයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත