ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා ඉතා තීරණාත්මක සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවෙසේදී පසුගිය සතියේ පැවැත්වී ඇත.
ඉතා රහසිගත ලෙස පැවැත්වී ඇති මෙම සාකච්ඡාවට මහින්ද රාජපක්ෂ මහතාට අමතරව බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ ධම්මික පෙරේරා යන මහත්වරුන්ද සහභාගි වී ඇති බව වාර්තා වේ.
මෙම සාකච්ඡාවේදී ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වී ඇති බව දැනගන්නට තිබේ.
මෙහිදී ධම්මික පෙරේරා මහතා තමන්ට පොහොට්ටුවේ අපේක්ෂකත්වය ලබාදෙන්නේ නම් ඊට ඉදිරිපත් වීමට සූදානම් බව දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් සිවුදෙනා අතර පැවැති දීර්ඝ සාකච්ඡාව අවසානයේදී ඊට පොහොට්ටුවේ ප්‍රධානීන්ගේ එකඟතාව හිමිව ඇති බවද දැනගන්නට ඇත.
ඒ අනුව, මැතිවරණ කොමිසම මගින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කොට දින 2ක් ඉක්ම යෑමෙන් පසු පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් වන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට එකඟතාවකට පැමිණ ඇති බවද පැවැසේ.