පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක් විභාග වෙමින් තිබියදී විත්තිකාර සිරිල් ගාමිණී පියතුමා, අන්තර්ජාලය ඔස්සේ කළ ප්‍රකාශයකින් සිය කීර්තියට හානියක් සිදු වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අද (සැප්තැම්බර් 4 වැනිදා) කොළඹ දිසා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේය.
කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන ඉදිරියේ නඩු විභාගය පැවැත්විණි
නඩු විභාගය සඳහා විත්තිකාර සිරිල් ගාමිණී පියතුමා ද අධිකරණයේ පෙනී සිටියේය.
රුපියල් මිලියන 50ක වන්දියක් ඉල්ලයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූවන් වෙනුවෙන් අන්තර්ජාතික යුක්ති සංසදය 2021ඔක්තෝම්බර් 23 දින “සූම් “ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවකදී සිරිල් ගාමිණී පියතුමා කළ ප්‍රකාශයකින් සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 50ක වන්දියක් අය කරදෙන ලෙස ඉල්ලා සුරේෂ් සලේ විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබ තිබේ.
පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ පහන් වීරසිංහ මතු කළ ප්‍රශ්න වලට පිළිතුරු දුන් සුරේෂ් සලේ කියා සිටියේ දරුවන් දෙදෙනකුගේ පියකු වන තමා යුද හමුදාවේ වසර 36ක සේවා කාලයක් සපුරා තිබෙන බවය.
විත්තිකරු කළ මෙම ප්‍රකාශය නිසා තමන්ටත් තම දරුවන්ටත් විශාල තර්ජනයක් එල්ල වූ බව සඳහන් කළ සාක්ෂිකරු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු විභාගයක් පැවැත්වෙමින් තිබියදී මෙවැනි ප්‍රකාශයක් කිරීම හරහා වැරදි සමාජ මතයක් නිර්මාණය වීමට හේතු වන බවත් සඳහන් කළේය.
තමාට පුද්ගලිකව දැඩි පීඩනයක්
මෙම ප්‍රකාශය තම දරුවන්ට පුද්ගලිකව විශාල තර්ජනයක් වු බවත් තම දරුවා පාසලෙන් ඉවත් කර ගැනීමට පවා සිදුවු බවත් මෙම ප්‍රකාශය තමාට පුද්ගලිකව දැඩි පීඩනයක් එල්ල කළ බවත් කී සුරේෂ් සලේ අදාළ කරුණු තහවුරු කරමින් දිවුරුම් පෙත්සමක්ද, අපහාසාත්මක බව කියන ප්‍රකාශය අන්තර්ගත සී.ඩී පටයක්ද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය ජනවාරි මස 25දා තෙක් කල් තැබුණි.
එදින විත්තිකාර සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් සාක්ෂිකාර සුරේෂ් සලේගෙන් හරස් ප්‍රශ්න විමසීමට නියමිතව තිබේ.