අස්වැසුම නමින් විද්‍යාත්මක නොවන අකාර්යක්ෂම වැඩසටහන් ක්‍රියාත්මක කර දිළිඳු ජනතාව අසරණ කර ඇති බවත්, වකුගඩු සහ පිළිකා රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ට මෙන්ම, ආබාධිත සහ වැඩිහිටි ප්‍රජාවට ලබාදෙන සහන පවා පිරිනැමීමට නොහැකි තත්ත්වයකට රට ඇද දමමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පවසනවා.
සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ, ආණ්ඩුවේ දූෂිත ක්‍රියාමාර්ග සහ ප්‍රායෝගික නොවන ප්‍රතිපත්තිය පිළිබඳව අයි.එම්.එෆ්. සංවිධානය පවා කනස්සල්ලට පත්ව ඇති බවයි.
රාජ්‍ය ආදායම් ඉලක්කවෙත ලගාවීමට ආණ්ඩුව අපොහොසත්ව ඇති පසුබිමක අයි.එම්.එෆ්. විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත දෙවැනි වාරිකය මුදාහැරීම අත්හිටුවා ඇති බවත් ප්‍රේමදාස මහතා කියා සිටියා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, “සක්වල” වැඩසටහන යටතේ 79 වැනි බස්රථය (28) අක්කරේපත්තුව ශ්‍රී රාමක්‍රිෂ්ණන් විද්‍යාලයට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වූවා…
“බදු ගැසීමෙන්ම පමණක් රාජ්‍ය ආදායම වැඩි කරන්න බැහැ. ඒ සඳහා රටතුළ ආදායම් උත්පාදනය කළ යුතුයි. එහෙත් වර්ථමාන ආණ්ඩුව සිදුකරන්නේ ආර්ථිකය හකුළුවමින්, ජනතාවගේ සුළු, සුළු ප්‍රශ්ණවලට තාවකාලික විසඳුම් සොයන එක. අද වනවිට රෝහල්වල බෙහෙත් නෑ, වෛද්‍යවරු නෑ, දරුවන්ට ඉගෙන ගන්න පොත්පත් නෑ, ගුරුවරු නෑ, ජනතාවට තුන්වේලා කන්න නෑ, කුඩා දරුවන් සහ ගැබිණි මව්වරුන් බහුතරයක් අද මන්දපෝෂණ මට්ටමට පත්වෙලා. 65%ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙනවා. මේ වගේ රටේ බරපතල ප්‍රශ්ණ තිබුනත් මැති, ඇමතිවරුන්ගේ රට සවාරිවල අඩුවකුත් නෑ. ඒ වගේම තවමත් ගජමිතුරන් සතුටු කිරීම තමයි මේ ආණ්ඩුව කරන්නේ. මත්පැන් සමාගම් දෙකකට රුපියල් බිලියන 1.7ක බදු සහන දීමෙන්ම ඒ බව තහවුරු වෙනවා. මේ ක්‍රමය වෙනස් කළ යුතුමයි. ඒ නිසයි අපි මැතිවරණයක් ඉල්ලන්නේ.”