රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් පස්වන වරටත් ජනාධිපති ධූරයේ දිවුරුම් දී තිබේ.
ග්‍රෑන්ඩ් ක්‍රෙම්ලින් මාලිගයේ පිහිටි සාන්ත ඇන්ඩෲ සිංහාසන ශාලාවේදී ඔහු තවත් වසර 6ක කාලයක් ජනාධිපති ධූරයේ කටයුතු කිරීම සඳහා දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මීට වසර 24කට පෙර, එනම් 2000 වසරේදී ඔහු පළමු වරට රුසියානු ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.
ජනාධිපති පූටින් සෝවියට් ආඥාදායක ජෝසෆ් ස්ටාලින්ගෙන් පසු ක්‍රෙම්ලිනයේ දීර්ඝතම කාලයක් බලයේ සිටින නායකයා ලෙස සැලකේ.
මාර්තු මස 15 සිට 17 දක්වා තෙදින තුළ රුසියානු ජනාධිපතිවරණය පැවැත්විණි.
එහිදී ඔහු 87%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කළ බව මැතිවරණ නිලධාරීහු පැවසූහ.
ජාතිකවාදී ගතානුගතික අදහස් දරන දේශපාලනඥයෙකු වන ලියොනිඩ් ස්ලට්ස්කි, කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂක නිකොලායි කරිටොනොව් සහ ‘ස්ටේට් ඩූමා’ ලෙස හැඳින් වෙන රුසියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ කුඩා නියෝජනයක් ඇති මෑතකදී ආරම්භ කරන ලද “නිව් පීපල්” පක්ෂයේ අපේක්ෂක, ව්‍යාපාරිකයෙකු වන ව්ලැදිස්ලාව් දවන්කොව් 71 හැවිරිදි පූටින් සමග රුසියානු ජනාධිපති ධූරයට තරග කළ සෙසු අපේක්ෂකයින් තිදෙනා වූහ.
“අපි එක්සත් සහ ශ්‍රේෂ්ඨ ජනතාවක්. අපි එක්ව සියලු බාධක ජය ගනිමු, අපි අපගේ සියලු සැලසුම් මල්ඵල ගන්වමු, අපි එක්ව ජයග්‍රහණය කරමු,” ජනාධිපති පූටින් මැති ඇමතිවරුන් සහ සම්භාවනීය අමුත්තන් අමතා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.