ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇත. මේ පිළිබඳව මූලික සාකච්ඡා වට කිහිපයක් ම පසුගිය කාලයේ පවත්වා ඇති අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සන්ධානය එළඹෙන අප්‍රේල් මාසයේදී එළිදැක්වීමට නියමිත බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සන්ධානයට උතුරේ දෙමළ පක්ෂ, වතුකරයේ දේශපාලන පක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සමගි ජන බලවේගයේ පිරිසක් ද සම්බන්ධ වීමට නියමිත බව දැනගන්නට තිබේ. එක්සත් ජාතික පක්ෂය මෙම සන්ධානය පිහිටුවීමට මූලිකත්වය ගෙන කටයුතු කරන බව ද වාර්තා වේ.
වතුකරයේ දේශපාලන පක්ෂ නියෝජනය කරන වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා මේ වන විටත් ජනාධිපතිවරයා සමග එක්වී කටයුතු කරයි. ඊට අමතරව වතුකරයේ ප්‍රබල දේශපාලන නායකයෙකු වන පලනි දිගම්බරම් ද මෙම සන්ධානයට එක් කරගැනීමට මේ වනවිට සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බව දැනගන්නට ඇත. මෙම දේශපාලන සන්ධානය ගොඩනගා ඉන් අනතුරුව එළැඹෙන ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්කර ගැනීමටත්, අනතුරුව මෙම සන්ධානයේ ප්‍රබල ම නායකයෙකුට අගමැතිකම ලබා දීම පිළිබඳ එකඟතාවට ඒමටත් නියමිත බව දැනගන්නට තිබේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා පවත්වා ඇති බවට පසුගිය දා මාධ්‍ය වාර්තා පළවූ අතර එම හමුවීම ද මෙම සන්ධානය ගොඩනැගීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පැවැති හමුවක් බව ද ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල දේශපාලන නායකයන් කිහිප දෙනෙකු ම මේ වනවිටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළකිරීමට එකඟ වී ඇත. දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන නායකයන් කිහිප දෙනෙකු ම මෙම ජාතික ආණ්ඩුව ගොඩනැඟීමේ සන්ධානයට බොහෝදුරට එක්වීමට නියමිත බව ද වාර්තා වේ.
- අනුරාධා හේරත්, ක්‍රිෂාන් පතිරත් ජයසූරිය