“1999 ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා කොටි බෝම්බයට ගොදුරු වී ඇසක් අහිමිකර ගැනීම ඇයට දේශපාලන වාසියක් ගෙනවා”ය යන්න එක්සත් ජාතික පක්ෂයේ නායකකාරකාදීහු මැතිවරණයෙන් අනතුරුව ප්‍රබල ලෙස ප්‍රචාරය කර අරින්නට වූහ. චන්ද්‍රිකා කොටින්ගේ බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තද ඇය තනි ඇසකින් රාජ්‍ය පාලනය
කරන්නට වූ අතර ඇයගේ මුල් ධුර කාලයට වඩා දෙවැනි ධුර කාලය පසුගාමී හා අසාර්ථක ප්‍රතිඵල ගෙන දෙන්නක් විය. ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් තිබුණාටත් වඩා ඉහළින් ආරක්ෂාවක් සැපයිය යුතු යැයි ප්‍රකාශ වූ අතර ඒ වෙනුවෙන් නිල හා නිල නොවන ආකාරයෙන් සමීපතමයන් ඊට ඇතුළත් කර ගත් බවක් කියැවිණි. පාතාල කල්ලි සාමාජිකයන්ද
ඇයගේ ආරක්ෂාවට සිටි බැවින් ඒවා විකල්ප පුවත්පත්වලින් දරුණු ලෙස විවේචනය කරන්නට වූයේය. කෙසේ වෙතත් ශ්‍රී ලනිප නායිකාව වශයෙන් චන්ද්‍රිකා සිය දෙවැනි ධුර කාලය යම් හිතුවක්කාර ලෙසකින් ගෙවා දමමින් සිටීම නිසාම ඇය කෙරෙහි ශ්‍රී ලනිපය ඇතුළතින්ම විරෝධතා එල්ල වන්නට වූයේය. මෙය ඉතා දරුණු තත්ත්වයකට උත්සන්න කරවීමේ පුරෝගාමියකු වූයේ මහින්ද රාජපක්ෂ බවත් ඔහු චන්ද්‍රිකාගෙන් පසු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මාන බලමින් සිටි බවටත් අදහස් පළ වූයේය.
මෙම කාලයේ චන්ද්‍රිකාගේ අදහස වූයේ මහින්දට ජනාධිපති ධුර අපේක්ෂකත්වය නොදී වෙනත් අයකු නම් කරන්නට බවත් කියැවිණි. මෙයින් මහින්ද පාර්ශ්වය මහත් සේ කිපී ගත්තේය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව තුළම ඉඳගෙන ඇයට එරෙහි විවිධ අඩව් අල්ලන්නට විය.
“කොහොම හරි මහින්දට අපේක්ෂකත්වය අරන් දෙන්න ඕනේ. නැතිනම් මහින්ද රාජපක්ෂ බලවේගය ඔතැනින්ම විනාශ වී යන්නට පුළුවන්”ය යන්න ඔහුට හිතවත් බොහෝ දෙනා කියන්නට වූහ.
“චන්ද්‍රිකා මහින්දට අපේක්ෂකත්වය නොදී වෙන අයකුව නම් කරාවි” යන්න ශ්‍රී ලනිපය තුළ බෙහෙවින් කතාබහට ලක්වූ අතර මේ නිසාම බණ්ඩාරනායකවරුන් හා රාජපක්ෂවරුන් අතර බලය පිළිබඳ අභ්‍යන්තර සටනක් ඇවිලී තිබුණේය. මහින්ද වැඩේ අත්ඇරියේ නැති අතර ඔහුගේ බල කඳවුර චන්ද්‍රිකාට අභියෝගයක් වන තරමට බලවත් වූයේය. එහි ප්‍රතිඵලය වූයේ “මහින්දට නාමයෝජනා නොදී ඉන්න බෑ” යන්නය. චන්ද්‍රිකා පසුබහින්නට වූ අතර ශ්‍රී ලනිපයේ බිම් මට්ටමේ බලමුළු මහින්දට ශක්තිමත්ව නැඟී සිටියේය. අන්තිමේදී මහින්ද රාජපක්ෂට මීළඟ ජනාධිපතිවරණයට ශ්‍රී ලනිප අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරන්නට අන්තිම මොහොතේදී සිදුවිය.
චන්ද්‍රිකාට “කපන්න බැරි අත සිඹින්නට වෙනවා” යන්න දනවමින් මහින්ද වෙනුවෙන් ප්‍රසිද්ධියේ කතා කොට ඔහුට ඡන්දය දෙන්නැයි කියා සිටින්නට සිදුවන තරමට තත්ත්වය පරිවර්තනය වී තිබුණේය. 2005 සැප්තැම්බර් 7දා ශ්‍රී ලනිප 54 වැනි සමුළුව පැවැත්වුණු අතර එහිදී ඇය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ,
“මහින්දගේ ජය තහවුරු කරන්න සහෝදර පක්ෂවල සහාය ලබා දිය යුතුය” කියලාය. මහින්දගේ ඡන්ද ව්‍යාපාරය ඇරැඹුණේ ඉන්පසුවය. එහෙත් චන්ද්‍රිකාගේ දැනුවත් කිරීම මත හෝ එසේ නොමැතිවත් ගම් මට්ටමේදී ශ්‍රී ලනිපයේ මැතිවරණ ව්‍යාපාරය වඩාත් ශක්තිමත් හා සංවිධානාත්මක එකක් නොවූයේය.
මේ වෙද්දී ජනතා විමුක්ති පෙරමුණේ කිහිප දෙනකු චන්ද්‍රිකා රජයේ ඇමැතිකම් භාරගෙන කටයුතු කළ අවධියක් විය. අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා, විමල් වීරවංශ හා සෝමවංශ අමරසිංහ යන නායකයන් මහින්දගේ ජය පතා ඍජුවම කතා පවත්වන්නට පටන් ගත්තේ මහින්දගේ ඡන්ද සටන ගම් මට්ටමේදී සියතට ගනිමින්ය.
මහින්ද සිය ඡන්ද සටන මුවහත් කරමින් අරලියගහ මැදුර හරහා පොරොන්දු මල්ලක් දෙන්නට පටන් ගත්තේ මින් පසුවය. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ගමින් ගමට යමින් පත්‍රිකා බෙදා හරිමින් ජනතාව දැනුවත් කොට මහින්දට ඡන්දය දෙන්නැයි අයැද සිටියේ මේ කාලයේය.
මහින්දට ඡන්ද ව්‍යාපාරය කරගෙන යෑමේදී සිය පක්ෂය වූ ශ්‍රී ලනිපයට වඩා ජනතා විමුක්ති පෙරමුණ විශ්වාස වූයේය. 2005 සැප්තැම්බර් 18දා අරලියගහ මන්දිරයේදී මහින්ද මාධ්‍යයට කීවේ…
“රජයේ සේවයට බඳවා ගන්නා සෑම දෙනාටම විශ්‍රාම වැටුප් ලබා දෙනවා” කියලාය. ඊට හේතුව නම් රනිල් ඒ වෙද්දී විශ්‍රාම වැටුප වෙනුවට දායකත්ව විශ්‍රාම වැටුපක් තම පක්ෂය බලයට පත්වුවහොත් නිර්දේශ කරන බව පවසා තිබුණු පසුබිමක් තුළය. රනිල්ද මේ කතාවට එහා මෙහා යමින් අදහසක් ජනගත කළේ අනතුරුවය. රනිල් එක්සත් ජාතික පක්ෂ සම්මේලනය පැවැති 2005 සැප්තැම්බර් 18දා මෙසේ පැවැසීය.
“මෙවර ජනාධිපතිවරණයේදී මගේ ජයග්‍රහණය වන්නේ බඩගින්නට නිමාවක් – හැකියාවට රැකියාවක්”
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහරගම යොවුන් රඟහලේ පැවැති උත්සවයකදී මහින්දට තල්ලුවක් දෙමින් ප්‍රසිද්ධියේ කීවේ… “රිවස් ගියර් එකේ ඉන්න රනිල්ගේ ගෝලයන් මහින්දගේ ජයග්‍රහණය දැන් පිළිගෙන ඉවරයි” කියලාය. ඒ වන විටත් මහින්දගේ ගම් මට්ටමේ ඡන්ද සටන ජනතා විමුක්ති පෙරමුණ මඟින් සියතට ගෙන වඩාත් කියාකාරි කොට තිබුණේය.
ශ්‍රී ලනිපයේ මහින්දත් ජවිපෙත් අතර මධුසමයේ ප්‍රතිඵලය ලැබෙන්නට වැඩි කාලයක් ගතවූයේ නැත. ඡන්ද සටන තියුණු වෙමින් පැවැති අතරතුර එනම් සැප්තැම්බර් 8දා උත්සවාකාරයෙන් අරලියගහ මැදුරේදී ශ්‍රී ලනිපයත් – ජවිපෙත් අතර ගිවිසුමක් ඇති වූයේය. එහි තේමාව වශයෙන් දෙපාර්ශ්වයම පැවැසුවේ…
“ගෞරවාන්විත සාමයක්, සමඟියක්, සංවර්ධනයක් උදෙසා” යන්නය.
එදිනම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රකාශයක් වශයෙන් අරලියගහ මන්දිරයේ සිටම පැවැසුවේ,
“මහින්දගේ ජයග්‍රහණය ස්ථිරයි” කියලාය. මේ අනුව මහින්ද රාජපක්ෂ ශ්‍රී ලනිපයේ නායකයා වූවාට ඔහුව මඟහැර සංවිධානය නොකර ගම් මට්ටමේදී සංවිධායකයන් කර අරිද්දී ජනතා විමුක්ති පෙරමුණ මහින්ද දිනවීම කරටම ගත්තේය. මේ අතර “මහින්ද ආවොත් ශ්‍රී ලනිපය නැත්තට නැතිවේවි”ය යන්න චන්ද්‍රිකා පාර්ශ්වයේ ඇතැමුන් ජනගත කරමින් සිටියේය. මෙම තත්ත්වය තමන්ට අවාසි සහගත වේයැයි සිතූ මහින්ද 2005 සැප්තැම්බර් 16දා කොළඹදී පැවැසුවේ,
“මම කිසිමදාක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න ඉඩ දෙන්නේ නෑ” කියලාය.
රනිල් වික්රමසිංහද ඡන්ද රැලි පවත්වමින් තම මතය ජනගත කරමින් සිටියේ කෙසේ හෝ මෙවර හෝ ජයග්‍රහණය ලබාගත හැකිවේය යන සිතිවිල්ලෙන් විය යුතුය. ඔහුට සහාය වෙමින් එජාප මන්ත්‍රි ගාමිණි ලොකුගේ සැප්තැම්බර් 26දා පැවැසුවේ,
“රැකී රක්ෂා බිහි කිරීමේ හොඳම වැඩපිළිවෙළක් රනිල් වික්‍රමසිංහ සතුයි” කියලාය. තවත් පැත්තකින් මහින්ද රාජපක්ෂ රාජ්‍ය සම්පත් විකුණන්නේ නෑය යන්න සපථ කරමින් එම ජනප්‍රියවාදී ඡන්ද බලාපොරොත්තුවෙන් කොළඹදී පැවැසුවේ “රාජ්‍ය දේපළ විකුණන්නේ නෑ” කියලාය.
මහින්දට නොදෙවෙනි වෙමින් මහින්දගේ ජය පතා අනුර කුමාර දිසානායක චන්ද්‍රිකා රජයේ ඇමැති ධුරයක් දැරූ පසුබිමක් සහිතව නොවැම්බර් 11දා මහින්දට තවත් තල්ලුවක් දෙමින් කොළඹදී පැවැසුවේ…
“ගොවි ජනතාව දුකෙන් මුදා ගන්න වී අලෙවි මණ්ඩලය යළි පිහිටුවනවා” කියලාය. මේ අතර එම මාසයේ 13දා ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමින් කීවේ…,
“ජනතා විමුක්ති පෙරමුණ එකතුවෙන් අගමැති මහින්දට ජය නියතයි” යන්නය.
නොවැම්බර් 13දා මහින්ද අරලියගහ මැදුරේදී මාධ්‍යයට පැවැසුවේ…
“වගා නොකළ මුඩු ඉඩම් ගොවි ජනතාවට ලබා දෙනවා” කියලාය. රනිල්ට ඒ හැටි තදබල ප්‍රහාර එල්ල කරන්නට මහින්ද එදාද නොගිය බව තහවුරු කරමින් මහින්ද කීවේ “ඡන්දෙ දිනුවට පස්සේ මම රනිල්වත් මගේ ළඟට ගන්නවා” කියලාය. ඊට එහා කතාවක් කියමින් ජනතා විමුක්ති පෙරමුණ නොවැම්බර් 13දා පැවැසුවේ “ඡන්දෙන් පැරදුනාම රනිල්ගෙ නන් දෙඩවීම නිට්ටාවටම සුව වේවි” කියලාය.
මේ අතර අයවැය සහන ලබාදීමට මේ අතරම යෝජනා වීම මහින්දට වාසිදායක ලෙස බලපෑවේය. ඒවා ගෙඩි පිටින් පොරොන්දු වශයෙන් දීමට අවස්ථාවක් ගත්තාක් මෙන්ය. අයවැය සහන වශයෙන් රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමෙන යෝජනාවත්, සමෘද්ධි දීමනාව ඉහළ නැංවීමත්, බඩුමිල පහත හෙළන බවටත්. සුනාමි විපත් වූවන්ට සහන ලබාදීමත් ඉටු කරන බවට ජනගත වූයේය. මේවා අනියමින් මහින්දගේ ජයට උත්තේජනයක් සැපයූ ඒවා වශයෙන් එජාපය මහින්දට හා ආණ්ඩුවට එරෙහිව ප්‍රකාශ කළේය.
මේ අතර වාරයේ නොයෙකුත් සමීක්ෂණ මඟින් අසවලා දින්නනේ අසවල් වැඩි ඡන්ද ගණනකින්ය යනාදී වශයෙන් සමීක්ෂණ ප්‍රතිඵල කිහිපයක් නිකුත් වෙමින් තිබුණේය. ආණ්ඩුවේ පුවත්පතක් මැතිවරණය ආසන්නයේ තබාගෙන අගමැති මහින්ද පිළිබඳ නවතම සමීක්ෂණය වශයෙන් දැක්වූ තොරතුරුද වූයේය. ඒ අනුව කියැවුණේ අගමැති මහින්දට ඇති ජනතා කැමැත්ත 57.6%ක් වශයෙන් වාර්තා වී තිබෙන බවය.
කෙසේ නමුත් මාස කිහිපයක දෙපාර්ශ්වයේ ඡන්ද සටන නිමාවට පත් කරමින් 2005 නොවැම්බර් 17දා ජනාධිපතිවරණය පැවැත්වීය. ප්‍රතිඵලය වූයේ අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත් කරමින් ඔහුගේ නමට ඡන්ද 4,887,152ක් හිමිවී තිබීමය. එය ප්‍රතිශතයක් වශයෙන් 50.29%ක් විය. ප්‍රතිවාදී රනිල් වික්‍රමසිංහට ලැබී තිබුණේ ඡන්ද 4,706,366කි. එය ප්‍රතිශතයක් වශයෙන් 48.43%ක් විය.
මෙම මැතිවරණයේදී විශේෂත්වයන් දෙකක් කැපී පෙනුණේය. එනම් ආණ්ඩු පාර්ශ්වයේ අපේක්ෂකයා දිනවීමට ජනතා විමුක්ති පෙරමුණ දිවිහිමියෙන් කටයුතු කර සටනට බැසීමය. අනෙක් පාර්ශ්වයෙන් මහින්දට එරෙහි උතුරේ ඡන්ද වැටීම ප්රභාකරන්ගේ නියෝගය මත වැළැක්වීමය. එය මෙතෙක් ඉතිහාසයේ සිදුනොවූ සිද්ධීන් දෙකක්ම විය.
සජිත් රෝහිත ලියනගේ