මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ අලි කලබලයට හේතුව කුඩා ලමයකු පිඹින ලද නළාවක් බව පළමුවෙන් කලබල කළ අලියා බලාගන්නා ඇත්ගොව්වා පවසයි.
පැල්මඩුල්ල විහාරයේ රත්නා නැමැති අලියා ඒ අයුරින් පළමුවෙන් කලබලයට පත්ව ඇති අලියා වන අතර එම අලියා බලාගන්නා අශෝක චන්ද්‍රසේකර මහතා පවසා සිටියේ මෙවන් කතාවකි.
මගේ අලියා කතරගම දේවාලයේ කරඬුව වඩම්මන ඇතා ගේ පරිවාර ඇස ලෙස ගමන් කළා . එසේ ගමන් කරණ විට මාලිගාවේ පියගැටපෙළ නැඟ පෙරහර ගමන් මාර්ගයට පැමිණෙනවාත් සමඟම යකඩ වැට අයිනේ සිටි කුඩා දරුවකු අලියාගේ හොඬය ලඟට ලංකොට ශබ්ද නැගෙන නළාවක් පිම්බා එත් සමග අලියා කලබලවී අනෙක් පැත්තට හැරෙන විට කරඬුව වඩම්මන ඇතා ගේ ඇඟේ හැප්පුනා.
එවිට අලියා තවත් බිය වී දුවන්න පටන් ගත්තා . මම වසර 25ක් අලි බලන කෙනෙක් මේ අලියා එහෙම කලබල කරන කෙනෙක් නෙවෙයි .
නලාවට බිය වූ නිසා අලියා නවතින්නේම නැතුව දුවන්න පටන් ගත්තා . පසුව අලියා පාලනය කොට පැත්තකින් බැඳගත්තා. මේ සිද්ධියෙන් අප කිසිවෙකුටත් තුවාල සිදු වුණේ නෑ . නලා ශබ්දය වැනි දේවලට අලි තරමක් කලබල වෙනවා. සමහර පුද්ගලයන් අලින්ගේ ඇස්වලට ලෙසර් වැනි දේ අල්ලන බවද පැවසූ චන්ද්‍රසේකර මහතා එවැනි දේ නොකරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය .
දළදා මාලිගාවේ අලි ඇතුන් භාරව කටයුතු කරන ප්‍රදීප් මියනපලාව මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ පෙරහැරේ ගමන් කරන අලි ඇතුන්ට හිංසා වන ආකාරයේ කටයුතු සිදු කිරීමෙන් වැලකී සිටින ලෙසයි. දෙවැනි කුඹල් පෙරහරේ දී සිදු වූ සිදුවීම විශාල සිදුවීමක් නොවන බවත් ඉන් කිසිදු පුද්ගලයකුට අලියකු හෝ ඇතකු පහර දී නොමැති බවත් එසේම කිසිදු ඇතකුට හෝ අලියකුට හිංසාකාරී සිදුවීමක් සිදුවී නොමැති බවද පැවසීය .