2011-2015 පාලන සමයේ ඉදිකිරීම් ආරම්භ කළ යාපනය ජනාධිපති මන්දිරයේ පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමට රජය තීරණය කර ඇත.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹ ඇත.
කන්කසන්තුරේ පිහිටි මෙම ජනාධිපති මන්දිර සංකීර්ණය අක්කර 29 ක භූමි භාගයක පිහිටා ඇති අතර ඉන් අක්කර 12 ක ගොඩනැගිලි සංකීර්ණ ඇත.
ඉතිරි ඉඩම ප්‍රදේශයේ ජනතාවගෙන් ලබා ගත් අතර රජයට අයත් අක්කර 12 SLIIT ආයතනයට මූලික අදියරේ දී බදු දීමට තීරණය කර ඇත.ජනතාවට ආදායමක් ලබා දීමේ පදනම මත ජනතාවගෙන් පවරාගත් ඉතිරි ඉඩම් අක්කර 17 SLIIT ආයතනයට බදු දීමට ද තීරණය කර ඇත.
දැනට මෙම ඉඩම ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයේ පවතින අතර අදාළ බදු ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එම පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය වෙත මුදා හැරීමට නියමිතය.