පාර්ලිමේන්තුවේ පැවති පාස්කු සම්මන්ත්‍රණය නිසා ඇතැමුන් කළබල වුණේ ඇයි?
විශේෂ ලියුම්කරුවෙකු විසිනි
සිරිල් ගාමිණි පියතුමා කඩි මුඩියේ ජනමාධය හමුවක් පවත්වා සමාජය නොමග යැවීම සඳහා සිදුකරනු ලැබූ අශීලාචාර ව්‍යාජ කාරණා දෙකක් ගැන මෙහිදී සඳහන් කිරීම ඉතාම වැදගත් වේ. පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු විවාදය අද සහ හෙට පැවැත්වීමට නියමිත අතර ගෙවුණු දින කිහිපය පුරා බෝම්බ ප්‍රහාරයේ සැබෑ කරුණු කිහිපයක් අනාවරණය වීමෙන් බොහෝ දෙනෙකු කලබල වී සිටින ආකාරයක් දක්නට ලැබේ.
කිසිවෙකු සත්‍යය හමුවේ කලබල විය යුතු නැත. වැදගත් වන්නේ දත්ත ඉදිරිපත් කරමින් තම අදහස් ප්‍රකාශ කොට අප සඳහන් කරන කරුණු සහ සිදුවීම් වැරදි බව ඔප්පු කිරීමය. එය නොකොට පරණ ඕපාදූප වල එල්ලී සිටීමෙන් රට හෝ මෙම ඛේදවාචකයෙන් විපතට පත්වූ කිසිවකුට සාධාරණයක් ඉටුවන්නේ නැත.
සිරිල් ගාමිණි පියතුමාට අදාළ තොරතුරු ලබා දෙනු ලැබුවේ කවුරුන්ද යන්න පැහැදිළි නැත. නමුත් පෙරේද (19) පාර්ලිමේන්තුවේදී ත්‍රස්ත විරෝධී විමර්ශන කොට්ඨාශයේ වත්මන් ප්‍රධානියා සිදුකළ කරුණු දැක්වීම බොහෝ දෙනෙකුට මෙම සමස්ථ සිදුවීම ගැන යථාර්ථවාදීව සිතීමට අවස්තාව උදා කරනු ලැබීය. මේ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පමණක් නොව සමගි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වා පවා මෙම කාරණයේ ඇති ගැඹුරු සමාජ යථාර්තය ගැන පැහැදීමෙන් කතා කළ බව විශ්වාසදායි ආරංචි මාර්ග සඳහන් කරනු ලැබීය.
ඇත්ත වශයෙන්ම කිවහොත් සැබෑ සතුරා පැත්තක සිටියදී තම තාවකාලික දේශපාලන අභිලාෂයන් මුදුන් පත් කර ගැනීම සඳහා සත්‍යය වසා දැමීම ඔවුන්ගේ ජීවිත වලට පමණක් නොව පොදුවේ මුළු මහත් සමාජයටම කරන අසාදාරණයකි. මෙවැනි ඛේදජනක ප්‍රහාර වලට හේතු වූ ප්රචණ්ඩ අන්තවාදය මුලිනුපුටා දැමීම අප හමුවේ ඇති සාමූහික වගකීමකි. ඊට පක්ෂ පාට අදාළ නැත.
සිරිල් ගාමිණී පියතුමා, පෙරේදා පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු ගෙන හැර දැක්වීම සිදුකළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස්ට එරෙහිව ඉතාම මුග්ද විවේචනයක් ඉදිරිපත් කළේය. ඒ සඳහා සත්‍යයට මුහුණ දීමට නොහැකි කම වසාගැනීම සඳහා උන් වහන්සේ එහෙන් මෙහෙන් අහුලා ගත් හුදු ඕපාදූප රාශියක් භාවිතා කළේය.
අදාළ නිලධාරියා පාර්ලිමේන්තුවේදී සිදුකළ තොරතුරු දැක්වීම නිසා උන් වහන්සේ මහත් කලබලයට පත් වී ඇති ස්වභාවයක් දක්නට ලැබුණි. නමුත් මෙම පියතුමාගේ හැසිරීම බරපතළය. එය සමාජය නොමග යැවීමට උත්සහ කිරීමක් පමණක් නොව කිසිඳු අධිකරණයකින් හෝ කොමිෂන් සභාවකින් වැරදි කරුවෙකු නොකළ නිලධාරීයෙකු හිතා මතාම අපකීර්තියට ලක් කිරීමකි. මෙය බරපතළ වරදකි.
අපි මෙය සරල උදාහරණයක් ඔස්සේ තේරුම් ගැනීමට උත්සහ කරමු.
“සිරිල් ගාමිණි පියතුමා ගැන උන්වහන්සේගේ සතුරෙකු අසත්‍යය ප්‍රකාශයක් කරමින් උන් වහන්සේ නිතී විරෝධී ලෙස රිය පැදවීම නිසා පොලිස් ස්ථානයක රැය පහන් කිරීමට සිදුවූ බවත් තමන් බේරා ගන්නා ලෙස රටේ සිටින උසස් පොලිස් නිළධාරීන් සහ දේශපාලනඥයින්ට උන්වහන්සේ දුරකථනයෙන් අමතා ආයාචනය කළ බව සඳහන් කර ඇතැයි සිතමු. උන් වහන්සේ මාධ්‍යය හමු පවත්වමින් රැකියාවෙන් පහකළ යුතු යැයි කියන ඇතැම් පොලිස් නිලධාරීන්ටද උන් වහන්සේ එහිදී අමතනු ලැබූ අතර එහිදී එම එක් නිලධාරියෙකු උන්වහන්සේට උදව් කළ බව පැවසේ.”
මෙවැනි ඕපාදූපයක් උන් වහන්සේගේ කීර්ති නාමයට කැල්ලක් බව අමුතුවෙන් කිව යුතු නැත. එම සන්දර්භය ඔස්සේ සිතන විට උන් වහන්සේ ප්‍රසන්න අල්විස් මහතාට සිදුකළ චෝදනාව ඉතාම සහාසික සහ අශීලාචාරය. ඊට එකම හේතුව මෙම නිලධාරියා විසින් පාස්කු ප්‍රහාරය ගැන සැබෑ දත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් දැනුවත් කිරීම නිසා, සිරිල් ගාමිණී පියතුමා වැනි සුළු කණ්ඩායමක් ඉතාම අමාරුවන් තැනු කුමන්ත්රණයේ කුළුණු බිඳී යෑමද?
අපි මෙහිදී ලසන්තගේ වික්රමතුංගගේ කාරණය ගෙන බලමු. සැබවින්ම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයෙන් පසු ඒ ගැන සැබෑ තොරතුරු සොයාගත් අපරාධ විමර්ශන නිලධාරියා ප්‍රසන්න අල්විස් මිස මේ දින වල ප්‍රකට නළුවෙක් වී සිටින නිශාන්ත සිල්වා නොවේ. ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සඳහා ඝාතකයින් භාවිතා කළේ යැයි කියන සිම් කාඩ් වලට මුදල් දැමු ස්ථාන ඇතුළු එම අපරාධයේ නිවැරදි තොරතුරු සොයා ගත් නිළධාරියා ප්‍රසන්න අල්විස්ය. 2010 වන විට එම අපරාධයේ බොහෝ තොරතුරු හෙළිදරව් කරගත් හෙතම මෙම අපරාධයට ව්‍යාජ චෝදනා එල්ල වූ පුද්ගලයින් 18 දෙනෙකු නිදහස් කිරීමටද දායක විය.
සාක්ෂි මකා දැමුවේ යැයි ඔහුට එරෙහිව බොරු චෝදනා කරන අයවලුන් 2015 දී ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් ඉවත් කළේය. එසේ ඉවත් කිරීමෙන් පසු 2019 වන තෙක් ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වූයේ ඇයි?
නිශාන්ත සිල්වා සහ ඇතැම් නිළධාරීන් අපරාධ විමර්ශන ගැන ජනමාධ්‍යයේ ලකුණු දමා ගත්තද මහ පොළවේ බර ඇද්දේ වෙනත් නිළධාරීන්ය. ඔවුන් කිසිම දිනක රට හැරදමා පලා යෑමට හෝ වෙනත් අයවලුන් සිදුකළ අපාරාධ විමර්ෂණ තමන්ගේ කරගත්තේ නැත. සිරිල් ගාමිණී පියතුමා බියවී සත්‍යය යටපත් කිරීම සඳහා කිසිඳු චෝදනාවක් නැති නිළධාරීන්ට අපහස කළ යුතු නැත. උන් වහන්සේ සූදානම් විය යුත්තේ සත්‍යයට මුහුණදීමට මිස උන් වහන්සේ විශ්වාස කරන ඕපා දූප පරම සත්‍යය යැයි පිළිගැනීම සඳහා බල කිරීමට නොවේ.
මේ අතර අනෙක් කාරණය වන්නේ සිය ජනමාධ්‍යය හමුවේදී උන් වහන්සේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිවද විශාල බොරුවක් සමාජ ගත කළේය. උන් වහන්සේ කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් සූදානම් කළ පාස්කු දේශනය පැවැත්වීම සඳහා ජයවර්ධන මහතාට ආරධනා කළ බවය. එම අමූලික බොරුවකි. එම සම්මන්ත්‍රණයට සහභාගී වූ විපක්ෂයේ දේශපාලනඥයින් පවා එය ඇසීමෙන් පුදුම විය. මන්ද ජයවර්ධන මහතා එදින පාර්ලිමේන්තු ගොස් සිටියේ මීට සති කිහිපයකට පෙර මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය විසින් සැලසුම් කර තිබු රැස්වීමකට සභාගී වීමටය. ඔහු පාස්කු ප්‍රහාරය ගැන පැවැත්වූ දේශනයට කිසිම සම්බන්ධයක් නැත. එහෙත් ඉතාම පහත් ලෙස එම සත්‍යය තොරතුරු වසන් කිරීමට සිරිල් ගාමිණි පියතුමා කටයුතු කිරීම ඉතාම අභාග්‍යය සම්පන්නය.