හදවතේ ගායකයා ලෙස මහත් ජනාදරයට පාත්‍ර වූ ගායන ශිල්පී චාමර වීරසිංහ සුවය ලබා කළුබෝවිල රෝහලේ සිට අද සිය නිවස බලා පිටත්ව ගියා.
දින 40කට ආසන්න කාලයක් ඔහු කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවා.
චාමර වීරසිංහ කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණේ ස්වසන අපහසුතාවක් හේතුවෙන්.
එහිදී ඔහු උගුරේ සහ උදරයේ සැත්කම් දෙකකට භාජනය කෙරුණු බවයි රෝහල් ආරංචිමාර්ග පැවසුවේ.
දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ චාමර වීරසිංහ මීට සති කිහිපයකට පෙර සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමට හැකියාව තිබුණද තවදුරටත් දැඩිසත්කාර ඒකකයේම තබා ගනිමින් ඔහුට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් කටයුතු කරනු ලැබුවා.
ඒ, යම් හෙයකින් ඔහුගේ සුව දුක් විමසීමට රෝහලට පිරිස් පැමිණියහොත් චාමරට අවශ්‍ය විවේකය නොලැබෙණු ඇති බවට විශ්වාසය පළ කරමින්.
චාමර වීරසිංහ රෝහල්ගත කළ බව දැනගත් මොහොතේ සිටම දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව ආගමික වතාවත්වල නිරත වුණා.
එමෙන්ම ප්‍රසංග වේදිකාවලදිද චාමර වීරසිංහට සුවය ප්‍රාර්ථනා කිරීමට ගායක ගායිකාවන් මෙන්ම සංගීත කණ්ඩායම්ද අමතක කළේ නැහැ.
චාමර වීරසිංහට සුවය පතා ඇතැම් ප්‍රදේශවල බැනර් ප්‍රදර්ශනය කර තිබීමද දක්නට ලැබුණා.
එමෙන්ම ඔහුගේ රුව සිය රථවාහනවල සිත්තම් කිරීමටද ඇතැම් තරුණයන් කටයුතු කර තිබූ ආකාරයක්ද පසුගිය කාලය පුරා දක්නට ලැබුණා.
මේ අතර චාමර වීරසිංහ සුවය ලැබුවද තවදුරටත් විවේක සුවයෙන් පසුවිය යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.