බැඳුම්කර මගඩියට තමාගේ කිසිදු සම්බන්ධකමක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසුවේය.
මුස්ලිම් සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් සමග කොළඹදී පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. ඉකුත් 07 වැනිදා මෙම හමුව පැවැත්වුණි.
ඔබ වරක් මිස්ටර් ක්ලීන් යන නාමය සමග කටයුතු කළා නමුත්, මහජන මතය දැන් වෙනස් වෙලා තිබෙනවා. බැඳුම්කර වංචාවේ සිට මේ දක්වා ඔබගේ පාලනය යටතේ සිදුවූ විවිධ ගණුදෙනු මේ වෙනසට හේතුවී තිබෙන බවයි පෙනෙන්නේ. ඇයි ඔබ මෙය සිදුවීමට ඉඩදුන්නේ යැයි සිවිල් ක්‍රියාකාරිකයකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
“බැඳුම්කර වංචාව ගැන මට මොකක්ද කරන්න පුළුවන්. සියලුදෙනාටම නඩු පවරා මහාධිකරණ මට්ටමින් සහ අභියාචනාධිකරණ මට්ටමින් ඔවුන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. මම කොමිසම හමුවට ගියා කොමිසම කිව්වා මට ඒකට කරන්න දෙයක් නැහැ කියලා. එහෙත් ඔබ කියනවා මම දූෂිතයි කියලා. බැඳුම්කර මගඩියට මගේ සම්බන්ධයක් නෑ. මම ගිහින් මාව නිදහස් කළා. එයාලා අහපු හැම ප්‍රශ්නයකටම මම උත්තර දුන්නා.
මම වෙනත් කතාවක් කියන්නද. මම ජනාධිපතිවරයා වුණාට පස්සේ ආණ්ඩුවේ ඇමැතිවරයකුට චෝදනා කළා. මම ඔහුව ආරක්ෂා කළේ නෑ. ඔහු ඉල්ලා අස්වුණා. ඇමැති කෙනකුට නඩු දාපු තව එක ආණ්ඩුවක් කියන්න. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගෙන් පස්සේ කිසිවකු එහෙම කරලා නෑ.’’ යැයි ජනාධිපතිවරයා කීවේය.