ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල සංචාරකයන්ට ආරුගම්බේහිදී ප්‍රහාර එල්ල කිරීම සඳහා පැවැරී තිබුණේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කොන්ත්‍රාත්තුව ලබාගත් බවට චෝදනා එල්ල වූ ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය හා සම්බන්ධකම් පවත්වන කුප්‍රකට කුලී ඝාතකයෙක් වන ෆර්ෂාඩ් ෂකේරිට බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පසුගිය සෙනසුරාදා නිවේදනය කළේ ය.
එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය නිවේදනයකට අනුව, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය සමග සම්බන්ධකම් ඇති බවට චෝදනා සහිත ෂකේරි එම බළකායේ විවේචකයන් නිහඬ කිරීම සඳහා ඉරාන නිලධාරීන් විසින් සංවිධානය කරන ලද පුළුල් ජාත්‍යන්තර කුමන්ත්රණයක කොටස්කරුවෙකි.
ෂකේරිට ට්‍රම්ප් මරා දැමීම සඳහා අමෙරිකානු ඩොලර් 300,000 කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබී ඇත.
ඉරානය විදේශයන්හි මෙහෙයුම් කිරීම සඳහා වෙනත් පුද්ගලයන් සහ අපරාධ ජාලා මෙහෙයවමින් ඇති බව ෂකේරිගේ කුමන්ත්රණයෙන් පැහැදිලි වන බව අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි.
එම නිවේදනයේ දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකාවේ සංචාරයෙහි නියුතු ඊශ්‍රයාල ජාතිකයන් ඝාතනය සඳහා සැලකිය යුතු මුදලක් ලබා දී ඇත්තේ ෆර්ෂාඩ් ෂකේරි විසිනි.
ජාත්‍යන්තර සීමාවන් නොතකා ඉරානය සිය පාලන තන්ත්රයේ විරුද්ධවාදීන් සහ එය සතුරු ලෙස සලකන අය ඉලක්ක කර ගැනීමට දරන උත්සාහයන් මෙම සිද්ධියෙන් ඉස්මතු වන බව පවසන එෆ්.බී.අයි. අධ්යක්ෂ ක්‍රිස්ටෝපර් වේ ප්‍රකාශ කර ඇත්තේ, එවැනි තර්ජනවලට එරෙහිව ඒජන්සිය සුපරීක්ෂාකාරීව සිටින බව ය.
කවුද මේ ෆර්ෂාඩ් ෂකේරි?
ෆර්ෂාඩ් ෂකේරි යනු 2008 වසරේදී අමෙරිකාවෙන් පිටුවහල් කරන ලද මේ වන විට 51 හැවිරිදි ටෙහෙරානය පදනම් කරගත් ඇෆ්ගන් සම්භවයක් සහිත පුද්ගලයෙකි.
ඔහු එක්සත් ජනපදයට සංක්‍රමණය වන්නේ කුඩා කාලයේදී ම ය.
වයස අවුරුදු 20දී පමණ සොරකම් කිරීමේ වරදකට හසුව වසර 14ක් දඬුවම් ලැබීමෙන් අනතුරුව ඔහු 2008දී අමෙරිකාවෙන් පිටුවහල් කර තිබිණි.
මෑත මාසවලදී ෂකේරි ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට සහාය වීම සඳහා එක්සත් ජනපද සිර ගෙවල්වලදී ඔහුට හමු වූ අපරාධ සහචරයන්ගේ ජාලයක් උත්තේජනය කිරීමට සම්බන්ධ වී තිබිණි.
එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට අනුව, ඔහු ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය වෙත උනන්දුවක් දක්වන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් මගින් ඝාතන ඉලක්ක නිරීක්ෂණත් සහ ඝාතන සිදු කිරීම සඳහා ක්‍රියාකාරීන් ලබාදී ඇති බව වාර්තා වේ.