ඔස්ට්‍රේලියාවේ ලිංගික අතවර චෝදනාවෙන් නිදොස් කොට නිදහස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ලබන 3 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරියෙකු ‘දිනමිණ‘ට තහවුරු කළේය. ඔහු පැමිණි වහාම ක්‍රිකට් තරග බිමේ දොරටු විවර වන බව එම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියා පැවැසීය. සිඩ්නි අධිකරණය විසින් ධනුෂ්ක වරදකරු නොවන බවට තීන්දු කර ඇති හෙයින් ඔහු ශ්‍රී ලංකාවට පැමිණි වහාම සියලු බාධක ඉවත්වන බව හෙතෙම පැවැසීය.
ධනුෂ්කගේ නඩු විභාගයට ගිය සියලු මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැරු බවත්, පසුගිය කාලයේ ඔහු ක්‍රීඩා කිරීම වෙනුවෙන් ලබා දිය යුතු මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ඔහුගේ නීති සහය වෙනුවෙන් වැය කළ බවත් ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරියෙකු සඳහන් කළේය.
ධනුෂ්ක ගුණතිලක කොළඹ එස්එස්සී ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ අතර, ශ්‍රී ලංකාවට පැමිණි පසු මේ දිනවල පැවැත්වෙන මේජර් ලීග් තුන්දින තරගාවලියට වුවද සහභාගීවීමේ අවස්ථාව හිමිව ඇත.
මේ පිළිබඳව එස්එස්සී ක්‍රිකට් අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතාගෙන් අප කළ විමසීමකදී පැවැසුවේ ධනුෂ්කට පනවා ඇති ක්‍රීඩා තහනම පැමිණි වහාම අවලංගු කොට පුහුණුවීමේ අවස්ථා ලබාදෙන බවයි. “මාස කිහිපයක් ඔහු ක්‍රීඩා කොට නැති නිසා ශාරීරික යෝග්‍යතාව හදා ගන්න වෙනවා. ඊට පස්සේ ක්‍රීඩා කිරීමේ කිසිම බාධාවක් නෑ. අනිවාර්යයෙන්ම මීළග දේශීය එක්දින පිටියේ ඔහු ක්‍රීඩා කරයි“ දොඩන්වෙල මහතා පැවැසීය.
පසුගිය විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර එල්ල වූ ලිංගික අතවර චෝදනාව මත ඔහුට ඕස්ට්‍රේලියාවෙන් පිටව යාමට නොදී දීර්ඝ නඩු විභාගයට මුහුණ දීමට සිදුවිය. ධනුෂ්ක නිවැරැදිකරු බව ඊයේ ඔප්පු වූ නිසා, මෙරට නිකුත් කළ සියලු ක්‍රීඩා තහනම් අහෝසි වී ගොස් තිබේ.
ප්‍රින්ස් ගුණසේකර