ගාලු මුවෙදාර පිටියෙන් අරගලකරුවන් ඉවත් වී වසරක් ගත වුව ද අරගලයෙන් තමන් බලාපොරොත්තු වූ දේ ඉටුව නැතැයි යන්න රටේ ජනතාවගෙන් 60%කගේ මතය වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
රට නැවත ගොඩගැනීමට නම් ස්ථාවරත්වය ගැන සිතීම වෙනුවට දූෂිත, අයහපත් පාලනය නිවැරදි කිරීම අවශ්‍ය යැයි ජනතාවගෙන් 51%ක් විශ්වාස කරන බව ද එම ආයතනය කියයි.
ගාලු මුවෙදාර අරගලය නිමා වී වසරක් ගත වන විට ජන මනස පවතින ආකාරය සම්බන්ධයෙන් වෙරිටේ රිසර්ච් කළ ජනමත විමසුමකින් මෙම කරුණු අනාවරණය වී තිබේ.
අරගලය මගින් ජනතාවගේ බලාපොරොත්තු අභිලාෂයන් හා සිතුම් පැතුම් ඉටු වූයේ ද නැති ද කියා ඇසූ පැනයට සමීක්ෂණයට සහභාගි වූ ජනතාවගෙන් 60%ක පිළිතුර ‘බොහෝදුරට නැත’ යන්න වී තිබේ.
බොහෝදුරට ඒවා ඉටු වූ බව පවසා ඇත්තේ 11%ක ප්‍රතිශතයකි. 29%ක් පවසා ඇත්තේ ඒ ගැන අදහසක් නැති බව ය.
එසේ නම්, රට ගොඩගැනීම සඳහා කළ යුතු වන්නේ කුමක්දැයි ප්‍රකාශ 03ක් ඇසුරෙන් ජනතාවගෙන් විමසා බැලීම ද එහිදී සිදුව ඇත.
එහිදී නියැදියෙන් 51%ක් පවසා තිබෙන්නේ රට යළි ගොඩනැගීමට නම් දූෂිත අයහපත් පාලනය නිවැරදි කිරීම අවශ්‍ය බව ය.
රට යළි ගොඩගැනීමට නම් ආර්ථික ක්‍රමය වෙනස් කිරීම අවශ්‍යය යි යන ප්‍රකාශයට 34%ක් එකඟවෙද්දී ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ස්ථාවරත්වයට මුල් තැන දීම අවශ්‍ය බවට එකඟ වී තිබෙන්නේ 15%කි.
රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන පරිදි තෝරා ගත් වැඩිහිටි ශ්‍රී ලංකා පුරවැසියන් 1008 දෙනෙකුගේ නියැදියක් පදනම් කර ගෙන මෙම සමීක්ෂණය කර ඇත.
මෙයට දත්ත එකතු කිරීමේ සහය වෑන්ගාර්ඩ් සර්වේ (පෞද්ගලික) ආයතනයෙනි.