ප්‍රවීණ නළු, අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ මහත්මිය, ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්වී තිබෙනවා.
ඇය ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම පත්වීමත් සමඟ සමගි ජනබලවේගය පක්ෂය තුළ දැඩි අභ්‍යන්තර අර්බුද ගණනාවක් පැන නැගී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
එම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් මාන්නප්පෙරුම, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන හා මේ වන විට සමගි ජනබලවේගයට සහය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා වැනි මන්ත්‍රීවරුන් පසෙකලා සජිත් ප්‍රේමදාස මහතා මෙම තීරණය ගැනීම හේතුවෙන් ඔවුන්ගේ දැඩි විරෝධයක් එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.
කිසිදු ඡන්ද පදනමක් නොමැති, දේශපාලන පසුබිමක් නොමැති රංගන ශිල්පිනියක් පමණක් වන කුමාරි මුණසිංහ වැනි අයෙක්ට ගම්පහ වැනි තීරණාත්මක මැතිවරණ දිස්ත්‍රික්කයක නායකත්වය ලබාදීම පුදුම සහගත බවට ඔවුන් පවසා තිබෙනවා.
කුමාරි මුණසිංහ මහත්මියගේ සැමියා වන ප්‍රවීන රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී මහතා පසුගිය මහින්ද රාජපක්ෂ පාලනයට දැඩිව සහය දක්වමින් කටයුතු කළා.
මහින්ද රාජපක්ෂ මහතාද නැරඹීමට පැමිණ සිටි එක්තරා රියැලටි තරඟයක් අතරතුර ජැක්සන් ඇන්තනී මහතා සඳහන් කළේ රාජපක්ෂවරුන් බුදුන්ගේ නෑයන් වන බවත්, ඒ සඳහා ඓතිහාසික සාක්ෂිද පවතින බවත්ය.
පසුව සජිත් ප්‍රේමදාස මහතාද අමාත්‍යවරයෙකු වූ යහපාලන රජය සමයේ ජැක්සන් ඇන්තනී මහතාව බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවට කැඳවනු ලැබූවා.
ඒ හම්බන්තොට වරායේ සමාරම්භක උත්සවයේ ප්‍රසංග කටයුතු වෙනුවෙන් ජැක්සන් ඇන්තනී මහතාට අයත් ‘ක්‍රියේටිව් හෙලන්කා‘ ආයතනයට රුපියල් මිලියන 18ක් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි.