ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් 30කට අධික පිරිසක් ඊයේ (25දා) පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී ඉදිරි ජනපතිවරණයේදී තමන් ඇතුළු පොදුජන පෙරමුණේ පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කොට ඇති බව දැනුම්දීමක් කර ඇතැයි වාර්තාවේ.
ඔවුන් මේ දැනුම්දීම කර තිබෙන්නේ හිටපු ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාවේදීය. මේ මොහොතේ පක්‍ෂයේ බහුතරයක් දෙනා වත්මන් ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට තීරණය කර ඇති බැවින් පක්‍ෂයේ වෙනත් අපේක්‍ෂකයකු ඉදිරිපත් කළහොත් එය පක්‍ෂයේ ඡන්ද පදනමට හානි විය හැකි බවද ඔවුන් හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දුන් බවද වාර්තාවේ.
එබැවින් පක්‍ෂයෙන් වෙනත් අපේක්‍ෂකයකු ඉදිරිපත් නොකරන ලෙසද ඔවුහු හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වේ. එහිදී මහින්ද රාජපක්‍ෂ මහතා පවසා ඇත්තේ තමන් පක්‍ෂය සමඟ සාකච්ඡා කොට කඩිනමින් තීන්දුවක් ලබාදෙන බවය.
මේ අතර, ආණ්ඩුව නියෝජනය කරන කැබිනට්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පසුපෙළ මන්ත්‍රිවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී හමුවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සම්බන්ධයෙන් පෙරේදා (24දා) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් 30 දෙනකු කොළඹ මල්පාරේදී හමු වී සාකච්ඡා කර ඇති අතර ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරුන් 18 දෙනකු තලවතුගොඩ ප්‍රදේශයේ හෝටලයක හමුවී සාකච්ඡා පවත්වා තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් කළහොත් ඇතිවන තත්ත්වයන් සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වයම දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයිද වාර්තාවේ.
එමෙන්ම මෙහිදී දෙපාර්ශ්වයේම අවසන් එකඟතාව වී ඇත්තේ මේ මොහොතේදී තම සහාය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමටයි.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම, දේශපාලන කාර්යාලය පිහිටුවීම, ඡන්දපොළ නියෝජිතයන් පත්කිරීම, මාධ්‍ය කටයුතු සිදුකිරීම වැනි කරුණු සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වයේම වැඩි අවධානය යොමුව ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල සහාය ජනාධිපතිවරයාට ලබාගැනීම සම්බන්ධයෙන් පුළුල් වැඩපිළිවෙළක් සැකසීම පිළිබඳවද මෙහිදී දීර්ඝව සාකච්ඡා වී ඇති බවද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ඊට අමතරව රජය විසින් දැනට ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති ඇතුළු රජයේ ව්‍යාපෘති සමඟ ජනතාව දැනුවත් කිරීම ඡන්ද කොට්ඨාස මට්ටමින් විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇති බවද වාර්තා වේ.