
අපි අපේ පැවැත්ම හදාගන්නකොට අනෙකා කෙරෙහි නිරායාසයෙන්ම උණුවන හදවතක් ඇතිව ඉස්සරට යන එක හරි වටිනවා.
අත්දැකීමෙන්ම දන්නවා ඇති, එහෙම මිනිස්සුන්ට බලාගෙන ඉද්දි හරියනවා.
ඊට උදාහරණ ඕනෑ තරම්.
ඇති හැකි අය නැති බැරි අයට පාන ළෙංගතුකම් එක්ක අත්වැල් බැඳගෙන ඉස්සරහට යනකොට ඒ ගමන බලාගෙන ඉන්න හරි ලස්සනයි.
ඔබ අපි කවුරුත් දන්න හඳුනන රසට, හැඩට කෑම හදන චරිත් කියන්නෙත් එහෙම ලස්සන ගමනක් යන අපූරු දක්ෂයෙක්.

ඔහු කෑම හදන ආකර්ෂණීය වීඩියෝ අතරෙ ඔබ දකිනවත් ඇති, චරිත් පුංචි පැටවු වටකරගෙන ඉන්න ඔවුන්ට රසවත් කෑම වේලකින් සංග්‍රහ කරන වීඩියෝ තියෙනවා.
ඒවා පිටුපස ඇති කතාවත් හරිම ආදරණීය එකක්.
ළඟදි දවසක ඔහු ඒ ගැන මේ විදියට කියලා තිබුණා.
”මමත් මම හිතන විදියට ජීවිතේ බිරියානි කියලා දෙයක් දැකලා තිබ්බෙ,
බර්ගර් කියලා දෙයක් දැකලා තිබ්බෙ අපේ වෘත්තියට ඇතුළත් වුණාට පස්සෙ.
ඉතින් මට නැති දෙයක් තව නැති කෙනෙක්ට දෙනවයි කියන්නෙ මම මගේ ජීවිතේ උපරිම ලබන සතුට තමයි ඒක.
ඉතින් හැම මාසෙකම මගේම මුදලින්,
මට ලැබෙන මුදල්වලින් මම දුෂ්කර පාසලකට ගිහිල්ලා ඒකෙ ඉන්න ළමයින් තෝරගෙන ඒ ළමයින්ට කෑම වේලක් දෙනවා.
මගේ අතින්ම හදන්නෙ. ඒකට සපෝර්ට් එකට අරන් යනවා මගේ වෙනම ඉන්නවා ටීම් එකක්.
සම්පූර්ණ කෑම ම හදන්නෙ මම…”

කතාව මුලදිම අපි කිව්වනෙ, අනෙකා කෙරෙහි නිරායාසයෙන්ම උණුවන හදවතක් ඇති මිනිස්සුන්ට බලාගෙන ඉද්දි හරියන්නෙ කියලා.
චරිත්ගෙ කතාවෙදි කොහොමත් ඒක සාධාරණයි.
මොකද ඔහු දවස ගාණෙ බබළන්න ඒකත් එක හේතුවක්.
ලස්සන හිනාවට, හැඩකාර රූපයට එහා ගිය දක්ෂතාවය එක්ක ආව මනුස්සකම තමයි චරිත්ව මේ තරම් උසකට අරන් ඇවිත් තියෙන්නෙ.
ඉතින් ඔය කිව්ව දේවල් එක්ක සාර්ථක ගමනක් යන ඔහු, මේ වන විට සිය යූටියුබ් අවකාශයේ පරිශීලකයින් සංඛ්‍යාව මිලියන 7 දක්වා වැඩි කරගන්නත් දක්ෂ වෙලා.
