රටේ කොටසක් දන්නවා ඔබ සාර්ථක ව්‍යවසායකයෙක් කියලා. කොටසක් දන්නවා මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක් බවට. තව කොටසක් දන්නවා අසාර්ථක පාලකයෙක් ලෙස හංවඩු ගැසුණු ගෝඨාභය රාජපක්ෂ ගේන්න දරදිය ඇද්ද පුද්ගලයෙක් කියලා. ඇත්තටම දිලිත් ජයවීර කියන්නෙ කවුද?
ඔය කොටස් තුනේ සංකලනයක්. ඕකට දරදිය ඇදීම කියලා කියනවා නම් 2004ට කලිනුත් දරදිය ඇද්දෙ. පක්ෂ දේශපාලන ඉතිහාසයේ වැඩිපුර දරදිය ඇද්දා 2004දී.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිනිය විදිහට ඉන්නකොට සාම ගිවිසුම අස්සන් කරලා රට පාවාදීමේ ගනුදෙනුව සිදුවෙද්දී රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටියා. බලෙන් අගමැති වෙලා හිටියේ. අන්න ඒ වෙලාවේ හදිසි මහ මැතිවරණයක් කැඳවලා ඔහු පන්නා දැමීමේ ක්‍රියාදාමයට මම දරදිය ඇද්දා. කැම්පේන් එක තමයි රට පෙරට. ඒ වෙලාවේ තමයි මම ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සමීපව වැඩ කළේ. ආසන හතළිස් දෙකක් ඔවුන්ට හම්බ වුණා. 39ක් ඒගොල්ලෝ තියාගත්තා. ඇමැතිවරු හතර දෙනෙක් පත්වුණා.
වැඩියෙන්ම දරදිය ඇද්දේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාරට.
2005දී මහින්ද මහතා ජනාධිපති කරන්න දරදිය ඇද්දා. අපේක්ෂාව වුණේ යුද්ධය අවසන් කිරීම. අලුත් ශ්‍රී ලංකාවක් කියලා මං ඒ වෙලාවේ කැම්පේන් එකක් කරලා කිසිම මුදලක් අය කරෙත් නැහැ. ඒ වගේම ‘අපි වෙනුවෙන් අපි’ එකට දරදිය ඇද්දා. ප්‍රතිඵලයක් විදිහට යුද්ධෙ ඉවර වුණා. ඊට පස්සේ ගෝඨාභය ගේන්න කැම්පේන් කළා.
ගෝඨාභය ගේන්න මහන්සි වුණු ඔබට සමාජයෙන් ලොකු කළු පැල්ලමක් වැදුණා නේද? ඔබ කරන සමාජ සේවාවලින් ඒක වහන්න පුළුවන්ද?
ඒක මට අවාසියි. නමුත් මෙහෙම උපකල්පනය කරමු. මම ජනාධිපතිවරණයට එනවා. මා සමඟ තවත් කිහිපදෙනෙක් එනවා. ඒ අතර රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාරත් ඉන්නවා. ඔවුන්ගේ පැටිකිරිය බලන්නකෝ. මං ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකක් කරලා පොඩි
පුෂ් එකක් දීලා ගෝඨාභය තල්ලු කරලා දැම්ම දිනවන්න. මම සහභාගි වෙලා තියෙනවාද අවුරුදු 75ක විනාශකාරී දේශපාලනයේ හිටි පාර්ලිමේන්තු පුටු රත් කර කර ආණ්ඩුවෙන් පඩි ගත්ත අය වෙනුවෙන්.
ඔබ එන්නේ මොකටද මේ?
මං එන්නේ මගේ වරද නිවැරදි කරගන්න.
ඔබ ජනාධිපතිවරණයට එනවද? කෙළින්ම අල්ලන්න තියෙන නහය ඔළුව වටේ අත යවලා අල්ලන්න ඕනෑ නෑනෙ?
ජනාධිපති අපේක්ෂකයා වෙනවා කියන එක පිස්සුවක්. මානසික රෝගයක්. ඒ මානසික රෝගීන් ටිකක් ඉන්නවනෙ දැනටමත්. ඒ අර්ථයෙන් මට ඔබට කියන්න බෑ.
ඔබට බලාපොරොත්තුවක් තියෙනවනේ ජනාධිපති වෙන්න?
බලාපොරොත්තු වෙන්නේ මෙහෙමනේ. අපි කරන වරදක් නිවැරදි කරන්න ඒ වෙලාවට තියෙන්නේ ජනාධිපතිවරණය නම් රටේ ඒ වරද නිවැරැදි කරගෙන අපි විශ්වාස කරන මේ ව්‍යවසායකත්ව රාජ්‍යයක් හදලා සභ්‍යත්වය රැකගෙන යන්න නායකත්වයක් දෙන්න මනුස්සයකුට සිද්ධ වෙන්නේ ජනාධිපති පුටුවේ ඉඳලා නම් ඒ ජනාධිපතිවරණයට මං ඉඳගන්නවා. ඒකෙ ලොකු වෙනසක් තියෙනවා. මට ජනාධිපති වෙන්න ඕන කියල කීපදෙනෙක් කිව්වනේ.
ඔබට ජනාධිපති
අපේක්ෂකත්වයට යන්න
තවම කොන්ෆිඩන්ස් මදිද?
100%ක් විශ්වාසයක් තියෙනවා. හැබැයි මට වඩා හොඳ දක්ෂ අපේක්ෂකයෙක් හිටියොත්. පරණ වැඩේ කාපු අනපු අය නෙවේ. මට නායකත්වය දෙන්න ලොකු හැකියාවක් තියෙනවා. හැබැයි අර ජනාධිපති වෙන්න ඕනෑ කියන මානසික රෝගයෙන් පෙළෙන්නෙ නෑ. ඔය අපේක්ෂකත්වය කියන එකට මං අකැමැති ඔය අපේක්ෂකත්වය ගැන සමාජය සාකච්ඡා වෙන්නෙ වෙන මානසික ලෙඩක් හැටියට. මව්බිම ජනතා පක්ෂයට මං නායකත්වය දෙනවා. වැඩපිළිවෙළක් තියෙනවා. ජනාධිපති සිහින උන්මාදයෙ මම නෑ. උන්මාදයෙ ඉද්දි යථාර්ථය පේන්නෙ නෑ. එහෙම නැතුව මං අපේක්ෂකත්වයට එනවා හෝ නොඑනවා කියන එක නෙවේ. එහෙම බැලුවොත් ඔබ කියන විදිහට වැඩි සම්භාවිතාව තියෙන්නෙ අපේක්ෂකත්වයට එන්න. හැබැයි මට ඒ උන්මාදය නෑ.
කේන්දරේ බලවගත්තෙ එහෙම නෑනෙ?
නෑ නෑ. මං ඒවා බැලුවෙ නෑ.
රනිල්, සජිත්, අනුර, ධම්මික පෙරේරා කියලා කියද්දි දිලිත් ජයවීරත් ඉන්නවා මේ පිස්සුවෙ. ඒකයි මෙච්චර අහන්නෙ?
ඔය කියපු නම් හතරෙ අයට මං ජනාධිපති වෙනවා කියන හීනෙ ඉන්නවා මිසක මේ වැඩේ කරන්න ඕනෑ කියන හීනෙ නෑ. ඒක දෙකක්නෙ. ඔක්කොටම ඕනෑ ජනාධිපති වෙන්න.
ඔබ කාගෙවත් බළල් අතක් හැටියටත් සමාජය දකිනවා?
මාව කාටවත් මෙහෙයවන්න බැහැ. බිළිබාන්න බෑ.
ඔබ විශ්වාසයෙන්ද කියන්නේ මේ ජනාධිපතිවරණයේදී යල්පැනගිය කිසිදු දේශපාලකයකුට හෝ මුක්කු ගහන්නෑ කියලා?
මම මේ යල්පැනගිය කිසිදු දේශපාලකයකුට මේ ජනාධිපතිවරණයේදී මුක්කු ගසන්නේ නැත. හෙඩ්ලයින් එක දාන්න. ඔය අනුර කුමාරටත් මං කියනවා දැන්වත් රනිල්ට ගහලා තියෙන මුක්කුව ගලවන්න කියලා. ඒක මිනිස්සු දන්නෙ නෑ හරියට.
ඒත් කැලණියෙ නයි පෙන්නලා නයි නටවපු දිලිත් මේ හදන්නෙත් එක්තරා නයි නැටවිල්ලක්ද කියලා මට අහන්න හිතෙනවා?
ඕක තාක්ෂණික කාරණාවක්. නයි නැටවිල්ල හරි නයි ගෙන ඒම ගැන මගේවත් මගේ මාධ්‍ය ව්‍යාපාරයේවත් කිසිම සම්බන්ධයක් නෑ. කලිනුත් ඒක කිව්වා.
එහෙනම් ඇයි ඒක පෙන්නුවේ ඔබේ මාධ්‍ය ආයතනයෙන්?
මගේ ආයතනය විතරක් නෙමෙයි වෙන නාළිකාවලත් පෙන්නුවා. මං ඕකට කොහෙත්ම සම්බන්ධයක් නෑ. ඔය නයි නැටවිල්ලක් කියලා කළේ මොකක්ද? ජනතා විමුක්ති පෙරමුණ ප්‍රවර්ධනය කරන බෞද්ධ විරෝධී නිරාගමික ආගමික සංස්කෘතිය තුළ ඔවුන්ට අවශ්‍යයි බෞද්ධාගමට හා බෞද්ධ සභ්‍යත්වය විහිළුවට ලක් කරන්න. ඔය මට ගහන්න ගෙනාපු නයෙක් නෙමෙයි. ඒගොල්ලොත් හොඳටම දන්නවා මම විද්‍යාත්මකව ඇඩ්වටයිසින් කරන කෙනෙක් කියලා. මේ අය කැලණියට ගහන්නේ “උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්‍ෙදාත් කැලණියේ” කියන අපේ බෞද්ධ සභ්‍යත්වයේ මුදුන්මල්කඩටයි.
ඔබ සිංහල බෞද්ධ. එහෙමද?
ඔව්. උපතින්ම සිංහල බෞද්ධ. හැබැයි ඒ සිංහල බෞද්ධකම කියන්නෙ සාම්ප්‍රදායිකව හංවඩු ගහපු සිංහල බෞද්ධකම නෙවේ.
ඔබ මිථ්‍යා විශ්වාස කරනවද?
නෑ. සිංහල බෞද්ධ කියන්නෙම මිථ්‍යා විශ්වාස නොකරන අයනෙ. ඒ ධම්මා හේතුප්පභවා. තේසං හේතුන් තථාගතේ නාහ කියලා. යමක් තියෙනවා නම් ඒකට හේතුවක් තියෙන්න ඕනෑ. මාත් එහෙමයි. තමන්ගෙ පංචේන්ද්‍රියයන්ට හේතු නොවන කිසිවක් සත්‍ය හැටියට ගන්නෙ නෑ. බුදුහාමුදුරුවො කාලානු සූත්‍රයෙ කිව්වෙත් ඒක.
ඒක දැන දැන ඔබේ මාධ්‍ය ආයතනයේ මේක ප්‍රචාරය කිරීම වැරැදිනෙ?
නෑ. දැන් අනුරාධා ඔයාට මාධ්‍යවේදිනියක් ලෙස කැලණියෙ මේ මහාචාර්ය හාමුදුරුවන් ඇවිත් කිව්වොත් මේක ප්‍රවෘත්තියක් නෙවේද. මේ පොඩි චූටි හාමුදුරුනමක් නෙවේ. මහාචාර්ය වගේම, උපකුලපති ස්වාමීන් වහන්සේ කෙනෙක්.
ඔබ ජනතා විමුක්ති පෙරමුණේ පන්තිවලට සහභාගි වෙලා තියෙනවා කිව්වා. ඒ මොන කාලෙදිද ඔය?
මම ඉස්කෝලෙ අට වසරෙදි වගේ. ඊට පස්සෙ 11 වසරෙදිත් පන්ති පහට.
අනුර කුමාරගේ ඉන්දියානු ගමන ගැන ඔබට විවේචනයක්ද තිබෙන්නෙ?
විවේචනයක්ම නෙමෙයි. ඔය තමයි අනුර.
ඒ කිව්වෙ?
දැන් තියෙන්නෙ රෝහණ විජේවීර හදපු ජවිපෙ නෙවෙයි. ඔය ඉන්නේ අනුර. අනුර කියන්නේ හොඳ වෙළෙන්දෙක්.
අනුර කුමාර ජනතා විමුක්ති පෙරමුණෙන් ඔබ වෙනස්කොට කතා කරනවා. මොකක්ද ඒ වෙනස?
ජනතා විමුක්ති පෙරමුණේ බහුතරයක් මම දන්නා පූර්ණකාලීනයන් සහ ඔය දේශපාලන මණ්ඩලයේ ඉන්න සමහර අය විශ්වාස කරනවා ආගමක් වගේ මේ මාක්ස්වාදී දර්ශනය.
ඔවුන් වෙන සමාජයේ තියෙන ගැටලු නිසා සමාජ විද්‍යාත්මකව ගත්තොත් ඔවුන්ට ඇති වූ පාරිසරික ප්‍රශ්න, සමාජීය ගැටලු එක්ක සමාජයේ කොන්වීමක් නිසා හෝ එතැනට තල්ලු වී ගියා. ඔවුන් නියෝජනය කරන්නේ ඒ කොන් වූ ශ්‍රී ලාංකිකයන්ගේ මානසිකත්වය. ඒ මානසිකත්වය සියයට සීයක් තවම තියෙනවා. ඒකනේ ඔවුන් ඒක ප්‍රවර්ධනය කරන්නේ. ඔවුන් එකතු කරන්නේ සමාජ වෛරය වටා කේන්ද්‍රීය වූ සාකච්ඡා.
නමුත් අනුර කුමාරගෙ ඉන්දීය සංචාරය, එහි විදේශ ඇමැති ජෙයශංකර් සමඟ පවා කළ සාකච්ඡා සාර්ථක බව පෙනුණා?
ඒ ඉන්දීය ගමන මම දකින්නේ නම් ශ්‍රී ලාංකික රජය අපේ ජනාධිපතිතුමා ඔහුගේ මිතුරා වූ අනුර කුමාරට දුන් සන්තෝසමක්, අවස්ථාවක් හැටියට. ඒ ගමනෙ හැඩය බලන්න ඔබ. ඒ ඇති.
“මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙවෙයි” කියලා ගමේ කියමනක් තියෙනවා.
ඩෙෆිනේට්ලි.
හරි, එහෙනම් මට කෙළින්ම කියන්න ඔබත් මේ දැන් දේශපාලනයේ නිරත වෙනවා. අනුර කුමාර දිසානායක වටා විශාල රැල්ලක් එක් වෙමින් තියෙනවා. ඔබේ ඔය දේශපාලන ගමනට අනුර කුමාර විශාල අභියෝගයක් වෙලා නේද තියෙන්නෙ?
කිසිසේත්ම නෑ. හේතුව අපි කතා කරන්නේ මේ සර්වත්‍ර කුලකය තුළ සිටින්නා වූ බහුතරයක් සතුටෙන් ඉන්නට කැමැති, දියුණු වෙන්නට කැමැති අපේ සභ්‍යත්වය හා ශිෂ්ටාචාරය විශ්වාස කරන, අම්මා තාත්තට ආදරය, ගෞරවය කරන, ප්‍රේමයට පෙරළා ප්‍රේම කරන ගෞරවය කරන සර්වත්‍ර කුලකය ගැන.
අනුර කුමාර විතරක් කොහොමද උප කුලකයට වැටුණෙ. ඔහු දක්ෂ දේශපාලකයෙක් නේද?
ඒ උප කුලකයට ඔහු පත් වුණේ සාම්ප්‍රදායිකව ජවිපෙ භාවිතය තුළ. මමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට හිටියා. මේ චූටි උප කුලකය එකතු කරන්නේ වෙනත් මනෝභාවයන් තියෙන පුද්ගලයන්. සමාජයේ දුෂ්කරතාවන් නිසා කොන් වූ පුද්ගලයන්. පෞද්ගලික ජීවිතයේ සිදුවූ යම් දේවල් නිසා කොන් වූ පුද්ගලයන්. සමාජයේ තියෙන ලස්සනට, ආදරයට තියෙන යම්කිසි යටි හිතින් මතුවුණු වෛරයට තමන්ගේ ශාරීරික ලක්ෂණ නිසා වෙන්නත් පුළුවන්. ඒක සමාජ වෛරයකට පෙරළිලා තියෙන්නෙ. මෙතැන වෙනසක් තියෙනවා. මෑත කාලෙ ජවිපෙ කියන්නේ. අනුර කුමාර මහතා විසින්ම පමණක් මෙහෙයවන පක්ෂයක් මේක. කිසිම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස මා දකින්නේ නෑ. ඔහුගේ වැඩක් මෙතැන යන්නේ. අද ලාභ ලබන ව්‍යාපාරයක් මේ. ඔවුන් අර අහිංසක මිනිසුන්ගේ, කොන් වූ මිනිසුන්ගේ මනෝභාවය ඒ ව්‍යාපාරයට යොදාගන්නවා.
නමුත් දැන් ඔබේ ඇහැටම පේන්න තියෙනවනේ අනුර කුමාරගෙ රැලිවලට දැවැන්ත සෙනඟක් ඉන්නවා කියලා. ඒක සුබවාදී දෙයක් නොවේද ඔවුන්ගේ
පක්ෂය හැටියට? ඔහුට ජයග්‍රහණයක් හිමි වෙයි කියන මතයකුත් තියෙනවා?
අනුර කුමාරට ජයග්‍රහණයක් ගන්න කොහෙත්ම බෑ. මහ පොළොවෙ ඇත්ත ඒකයි. ඔබ කියන විදිහට සමාජයේ සියයට පනස් එකක් ඉක්මවන්න ඕනෑ වෛරයෙන් පිරිච්ච අය. වෛරය සමාජයට මුදාහරින අර සියලු සෘණාත්මක හැඟීම්වලින් පිරුණු, දියුණු වෙන්න අකැමැති ජනතාවක් ලංකාවේ සියයට පනස් එක ඉක්මවා ගිය පසු ඔබ කියන දේ වෙයි.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැන මොකක්ද ඔබට තිබෙන ආකල්පය? රනිල් වික්‍රමසිංහ කියන්නෙත් ඊළඟ ජනාධිපති අපේක්ෂකයෙක්නෙ?
මම ප්‍රාර්ථනා කරනවා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවේවා කියලා. ඉතිහාසයේ අන්තම පරාජය ඔහුට ඉදිරිපත් වුණොත් මෙවර ලැබෙනවා.
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ගැන මොකක්ද හිතෙන්නේ?
සජිත් ප්‍රේමදාස වඩාත් ජනතාව ආමන්ත්‍රණය කිරීමෙන් වැළකී සිටින ලෙස මම මිතුරෙක් විදිහට උපදෙස් දෙනවා. ඔහු අඩුවෙන් ජනතාව ආමන්ත්‍රණය කළොත් අර තියෙන ප්‍රතිශතය ටිකක් වැඩිකර ගන්න පුළුවන්.
ඔබ ව්‍යවසායක රාජ්‍යයක් ගැන කියනවා. හැබැයි ඔබ අල්ලලා තියෙන්නේම අමාරු තැනින්. රටේ ව්‍යාපාර දැඩි ලෙස බංකොලොත් වූ යුගයක අපි ඉන්නෙ?
වැඩපිළිවෙළ සරලයි. එක කොටසක් ඔය කතා කළේ. ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියන්නේ ව්‍යවසායකයන් ඉන්න රටක් ප්‍රවර්ධනය කරන ව්‍යවසායකත්ව මනසක් ඇති රාජ්‍යයකට. ඒ තීන්දු ගන්නේ ව්‍යවසායකත්ව මනසින්. එතකොට ඔවුන්ට පුළුවන් වෙනවා මුතු වැලක් සේ දිගින් දිගටම අවශ්‍ය තීන්දු තීරණ ගන්නට. කොහොමද අධ්‍යාපනය සැකසෙන්න ඕනෑ. කොහොමද ලංකාවේ මානව සම්පත් ගනුදෙනු කරන්නේ, කෘෂිකර්මාන්තය, ධීවර ක්ෂේත්‍රය මේ ඔක්කොම ගැන නිශ්චිත අවබෝධයක් වැඩපිළිවෙළක් ඕනෑ. ඒක තමයි එවැනි රාජ්‍යයක ලක්ෂණ.
ඔබට ප්‍රතිපත්තියක් තියෙනවද?
අවුරුදු 75ක් තිස්සෙ අපි ප්‍රතිපත්ති දැක්කා. අපි ප්‍රතිපත්ති ප්‍රකාශන ගහලා ජනතාව මුළා කරන්නෙ නෑ. නිසි කලට අපි ව්‍යවසායක රාජ්‍යයේ උපායමාර්ගික සැලැස්ම, වැඩපිළිවෙළ මත එයින් ඔබට ජීවිතේ වෙනස් විදිහ දැනගන්න පුළුවන්.
සංවාදය: අනුරාධා හේරත් / www.mawbima.lk