පසුගිය දිනක වරාය අධිකාරියේ යාත්‍රා දෙකක සංවිධාන කළ සාදය සඳහා කිසිදු මහජන මුදලක් භාවිත නොකළ බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඊට මුදල් ලබාගත් ආකාරය සහ ඒවා දැක්වෙන සියලු රිසිට් පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පළවූ සියලු වාර්තා අසත්‍ය බව ද එම වාර්තා පළ කළ වරාය වෘත්තීය සමිති සාමාජිකයන්ට වහා නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි ද ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා කීය.
මේ සඳහා වැය වුණේ රුපියල් 14,000කට නොඅඩු මුදල් ප්‍රමාණයක් යැයි ද එය තමා ගෙවූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
ජනවාරි මාසයේ පාසල් දූදරුවන්ගේ වාර ප්‍රවේශ පත්‍ර අවලංගු කර ඇති මොහොතක, වැට් බදු නිසා ජනතාව විවිධ තාඩන පීඩනවලට ලක්ව ඇති මොහොතක පාර්ලිමේන්තුවේ රජයට සම්බන්ධ මැති ඇමතිවරු පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග වරාය අධිකාරියට අයිති හංසකාව සහ දියකොවුලා නමැති යාත්‍රා 2ක උපයෝගී කරගෙන මීට දින 2කට පෙර මුහුද මැද සාදයක් දමා ඇති බවත් මේ සඳහා වරාය විෂය සම්බන්ධ අමාත්‍යවරයෙකු විසින් ලිඛිත අවසර පවා ලබා දී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පැවසීය.
අනුරාධා හේරත්, ක්‍රිෂාන් පතිරත් ජයසූරිය