“සමනල වැවේ වතුර ටික උඩවලව ජලාශයට නිදහස් කරන්න කියලයි අපි කියන්නෙ මහත්තයෝ. වතුර ටික නොදුන්නොත් අපේ ගොයම අහවරයි. අපට මේ ණයතුරුස් එක්ක වහ බොන්ට වෙන්නෙ. මහත්තයලාත් බත් කන්ට වෙන්නේ නෑ.”
ඒ කතාව කීවේ මඩ සෝදාගෙන රජකම නොපතා ඉකුත් අගෝස්තු 4 වැනිදා විරෝධතාවකට පැමිණ සිටි ඇඹිලිපිටියේ ගොවි මහතෙකි.
”සමනල වැවේ ජලය ඉතා පහළ මට්ටමක පවතින්නෙ. මේ අවස්ථාවේදී වගාවන් සඳහා ජලය නිදහස් කළහොත් දකුණු පළාතට විදුලිය කප්පාදු කරන්න වෙයි.”
එසේ කියන්නට වූයේ රජයට සම්බන්ධ පාර්ශ්වයන්‍් ය. විශේෂයෙන්ම විදුලි බලමණ්ඩලය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මෙම මතයේ එළඹ සිටියේය.
”එහෙම කරන්න බෑ. ජලය නිදහස් කරන්නම ඕනෑ.”
මෙසේ පවසමින් ආණ්ඩුවේ තවත් පිරිසක් කැබිනට් සහ සාකච්ඡා වට මේස දෙවනත් කරන්නට වූහ. වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරද ජල සටනට පාර්ශ්වික බවක් පෙනී ගියේය.
”මග සිටියොත් තෝ නසී. ගෙදර ගියොත් අඹු නසී.” නියඟය නැමැති නයා මල්ලට රිංගාගත් නිසාවෙන් ආණ්ඩුව පඹගාලක පැටලුන බව පෙනී ගියේය. විපක්ෂ සහ ගොවි බලවේග සටන එන්න එන්නටම තීව්‍ර කළ අතර ඒ හරහා ආණ්ඩුව තවත් අසරණ විය. මෙලෙස පඩිසන් දීමට පටන්ගෙන තිබුණේ මෙරට ආණ්ඩු කිහිපයක් විසින් හිතාමතා ජනන සැලස්මට අනුව නව විදුලි බලාගාර නිර්මාණය නොකිරීමේ මහා පාප කර්මයි. විදුලි බලයෙන් ගසා කෑ ඇමතිවරුන්, ඉංජිනේරුවන්, ලේකම්වරුන් සහ තවත් නිලධාරීන්ගේ අවශ්‍යතාවයන් නිසා ජනන සැලැස්ම වල් වැදුණු බව රටම දන්නා රහසකි.
මේ අතර ජල ගැටලුවට කාලගුණයෙන්ද සහනක් ලැබෙන බවක් නොපෙනුණි.
“සැප්තැම්බර් දක්වා පවතින නිරිතදිග මෝසමෙන් මෙවර අපේක්ෂිත වර්ෂාව නොලැබේවි. ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා අන්තර් මෝසම් කාලයේ වෙනදාට වැඩි වර්ෂාවක් අපේක්ෂා කරන්න පුළුවන්.”
ගොවීන් සහ ගොවි වෘත්තීය සමිතිවලට අමතරව විපක්ෂ දේශපාලනඥයන්, අරගල ක්‍රියාකාරීන් සහ ඇතැම් මාධ්‍ය ආයතනද ආණ්ඩුව සහ ජනාධිපතිවරයාට දැඩි පීඩනයක් එල්ල කළහ. ඌරන් කැකුණ තැලීම හබන් කුකුළන්ට රජමඟුල් වී තිබුණි.
”ගොවීන්ට මෙහෙම කරන මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනෑ. හැමෝම එකතු වෙන්න…”
කැබිනට් සහ වට මේස සාකච්ඡා උණුසුම් කළ මෙම ගැටලුවලට කඩිනම් විසඳුමක් සෙවීමට ඒකබද්ධ ප්‍රවේශයකින් වැඩ කළයුතු බව නියෝග කළේ ජනපතිය. ඒ අනුව සමනලවැව ජලාශයෙන් කෘෂිකාර්මික සහ වාරිමාර්ග කටයුතු වෙනුවෙන් අවශ්‍ය ජලය නිදහස් කිරීමට සහ අඛණ්ඩව විදුලිබලය සැපයීමේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම ඇරඹුණි. අභ්‍යන්තර ගැටුම් තරමක් සමනය වූ අතර විදුලිබල මණ්ඩලය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව මෙම සැලැස්ම සකස් කළේය. ඒ අනුව අගෝස්තු 07 වැනිදා මේ පිළිබඳ අවසන් අදියරේ සාකච්ඡා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.
සාකච්ඡා අවසානයේ එදිනම කැබිනට්ටුව හමුවට අදාළ යෝජනා පැමිණියේය. අගෝස්තු 08 වැනිදා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක්ද සිදුකළේය. ඒ අනුව ජල ගැටලුවට ආණ්ඩුවේ විසඳුම පැහැදිලි විය.
”අගෝස්තු මස 16 වැනිදා වෙද්දී සමනලවැව ජලාශයේ විදුලි උත්පාදනය සම්පූර්ණයෙන්ම ඇණහිටිනවා. ඒක සම්පූර්ණයෙන් ඇණහිටියාම අපිට විකල්ප විදුලිය මිලදී ගැනීමක් නැත්නම් අනිවාර්යයෙන්ම මාතර දිස්ත්‍රික්කය, ගාල්ල, රත්නපුර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය තුනක විදුලි කප්පාදුවකට යන්න වෙනවා. ඒ විදුලිය මිලදී ගැනීමක් සිදුකළේ නැත්නම්. දවල් කාලයේ පැයයි රාත්‍රී කාලයේ පැය දෙකයි. ඒ නිසා අපි ඉල්ලීමක් කරා අපිට විදුලිය කප්පාදු කරන්න බෑ. පහුගිය මාර්තු මාසයේදීත් ඉල්ලීමක් කරලා තිබුණා මාස තුනකට හතරකට සමහරවිට අපිට අවශ්‍ය වෙයි කියලා. ඒ අනුමැතියම හෝ පාවිච්චි කරලා අපිට විදුලිය මිලදී ගන්න අවශ්‍ය වෙයි. ඒ විදුලිය මිලදී ගන්නවා නම් අපිට තියෙන්නේ දකුණු පළාතට සම්බන්ධ කරන්න පුළුවන් බලාගාර තුනයි. මේ තුනෙන් අපිට කැඳවීම් කරන්න වෙනවා. අපේ පැත්තෙන් වතුර නිදහස් කරන්නේ නැත්නම් විදුලි උත්පාදනයට කිසිම ගැටලුවක් නෑ. වතුර නිදහස් කරන නිසා අගෝස්තු 15 සිට සහතික කරන්න අඛණ්ඩ විදුලිබල සැපයුමක් තියන්න විදුලිය මිලදී ගැනීමක් කරන්න වෙනවා. ඒක ප්‍රසම්පාදනය තුළ කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”
ජලය නිදහස් කර හදිසි මිලදී ගැනීම් හරහා විදුලිය ලබාගෙන ප්‍රශ්න විසඳීම ආණ්ඩුවේ සැලසුම විය. එහෙත් ”එහෙනම් තීන්දුයි නිවාරණයි, එහෙනම් කොල්ලෝ අපි ගියා” කියා පසෙකට වීමට ආණ්ඩුවට පහසු වූයේ නැත. ජල ගැටලුවෙන් ඉක්බිති බැංකු නෝනාගේ තේ වත්තේ අර්බුදය මතුවිය.
”ඉතින් මේක පණගැන්වීම විතරයි කරන්න තියෙන්නේ. මේකට පොඩි බාධාවක් තියෙනවා. සිරිපාගම හරියේ තියෙනවා තේ වත්තක්. මේ තේ වත්ත හරහාත් මේ සම්ප්‍රේෂණ මාර්ගය වැටිලා තියෙනවා. ඒ තේ වත්ත අයිති අය අනුමැතිය දුන්නේ නැහැ. ඒක නිසා මේ සම්ප්‍රේෂණ මාර්ගය සකස් කරලා ඒ වත්තේ දෙපැත්තේ කණු දෙකත් සවිකරලා විදුලිබල මණ්ඩලය බලාගෙන ඉන්නවා මේ මීටර් 600 රුහැන් ටික ඇදලා මේක බලගන්වන්න. මේක දවස් දෙකක වැඩක්.”
දකුණට විදුලිය රැගෙන ඒම බාරව සිටි නම් දැරූ ඉංජිනේරු මහත්වරු අලුත් ප්‍රශ්නයක් ජනගත කළහ. මේ වනවිට ආරම්භ කර ඇති දකුණු පළාතේ විදුලි අවශ්‍යතාව සපුරාලීම සඳහා ලක්ෂපාන පොල්පිටියේ සිට හම්බන්තොට දක්වා විදුලි සම්ප්‍රේෂණ රැහැනක් එළීමේ වැඩකටයුතු අතර මෙම ගැටලු මතුවිය.
පළව ඇති මාධ්‍ය වාර්තා සහ ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි අනුව මෙම තේ වත්ත රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලන පවුලකට අයත්ය. එම පවුලේ ලෝක බැංකුවේ රාජකාරි සිදුකරන එම පවුලේ කාන්තාවකගේ බලපෑම හේතුවෙන් මෙම කටයුත්ත ප්‍රමාද වෙමින් තිබෙන බව කියවුනි.
කෙසේවෙතත් සිකුරාදා වන විට මෙම පවුල මහජන උපයෝගිතා කොමිසම හමුවට පැමිණ සාකච්ඡා කර ඇති අතර අවසානයේ යම් එකඟතාවක් නිර්මාණ වූ බව වාර්තාවිය.
එහෙත් ජල ගැටලුව ඇරඹුණු සංදර්ශනය තවමත් අවසන් වී නොමැත. තවදුරටත් බොහෝ දෑ සිදුවීමට නියමිතය. එසේම මෙරට සමස්ත විදුලි අවශ්‍යතාවය සැපයීම සඳහා අවශ්‍ය බලාගාර නිර්මාණය කරන තුරු මෙවන් ගැටලු නිරන්තරයෙන් අපට අසන්නට ලැබෙනු ඇත. සැබවින්ම පය බරවායට බෙහෙත් බැඳිය යුත්තේ පිටිකරට නොවේ.
I චමිඳු නිසල් ද සිල්වා/ www.deshaya.lk