විදුලි බිල නොගෙවීම හේතුවෙන් විසන්ධි කර දැමුණු මිහින්තලා පුදබිමේ විදුලි බලය, සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ බෞද්ධ උපදේශන කමිටුව හරහා බිල ගෙවා දැමීමෙන් අනතුරුව අද (4) විදුලිය නැවත ලැබුණු බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් පැවසූහ.
“මේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා දේශපාලඥයෙක් හැටියට නොව දායකයෙක් හැටියටයි අපි සලකන්නේ, මේ සියලු බර කරට අරගෙන රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් සිදු කළ ඒ පරිත්‍යාගයට එතුමාටත් ඒ සඳහා සම්බන්ධ වූ සියලු දෙනාටත් මේ මොහොතේ අප පින් අනුමෝදනා කරනවා.”
සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද (4) මෙසේ පැවසීය.
“මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලා පුදබිමේ විදුලි කප්පාදුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අපි දැඩි අප්‍රසාදය පළ කර සිටිනවා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දීම රජයේ උත්තරීතර නීතිය බවට පත්ව තිබෙන මොහොතක එම උත්තරීතර නීතියටත් එහායින් කටයුතු කිරීම අපි හෙළා දකිනවා.
සමගි ජනබල වේගය සහ සමගි බෞද්ධ උපදේශන කමිටුව එක්වෙලා එහි සාමාජිකයන් සමග සාකච්ඡා කරලා, නායක හිමිපාණන්ගේ අනුශාසනා පරිදි මිහින්තලා පුදබිම ආලෝකමත් කරන්න අපි කටයුතු කළා”